බුදු දහමයි ගිහි දිවියයි 11

ගුණ නැණ විරිය ලිය ඉඳින ගෙට වැඩවේය සව්සිරි

රථයෙන් ගමන් කරන්නන්ට රථය තෙම ගමනේ පහසුව පිණිස යම්සේ උපකාර වේද? එමෙන්ම පුරුෂයන්ගේ කටයුතු මනාසේ කර ගැනීමට ගෘහය අතිශයෝපකාරි වේ. රථයෙහි සිටියවුන්ට රථාචාර්යා යම්සේද ගෘහස්ථයන්ට භාර්යාවත් එසේම වේ.

යථාරථාඤ්ච චරිතානාං – ගෘහීණාඤ්ච තථා ගෘහම්
සාරථිසතුයථාතේෂාං – ගෘහස්ථානං තථා පි‍්‍රයා

යන විෂ්ණු ශර්මන් පඬිතුමාගේ කියමනෙන් ප්‍රකාශ වේ.

නියම ස්ත්‍රියකගේ පැවතුම් මේවායි ප්‍රකාශ කරන්නා වූ එම පඬිතුමා විසින්

සා භාය¸ා යා ගෘභේදක්ෂා – සා භාය¸ා යා ප්‍රජාවති
සා භාය¸ා යා පතිප්‍රාණා – සා භාය¸ා යා පතීව්‍රතා

(යම් ස්ත්‍රියක් ගෙයි කටයුතු ක්‍රියාවෙහි දක්ෂ වු ද ඕ තොමෝ අඹුවන්නීය. යම් ස්ත්‍රියක් දරුවන් ඇත්තිද ඕ තොමෝ අඹු වන්නීය. යම් ස්ත්‍රියක් ස්වාමියා ජීවිතය මෙන් සිතන්නීද ඕතොමෝ අඹු වන්නීය. යම් ස්ත්‍රියක් ස්වාමියා හැර අන් පුරුෂයන් නොපතන්නී ද ඕ තොමෝ අඹුවන්නිය යනුය)

ස්ත්‍රියකගේ රූප ලක්ෂණය මෙන් සැලකිය යුත්තේ ඒ ස්ත්‍රියගේ දේහ ලක්ෂණය නොව පතිව්‍රතා ධර්මයයි. පතිව්‍රතා ධර්මයෙන් හීන වු ස්ත්‍රිය දිව්‍යාංගනාවකගේ මෙන් රූපශි‍්‍රය ඇතත් ඉන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ බ ව“ නාරි රූපං පතීව්‍රතං “ යන්නෙන් ප්‍රකාශ වේ.

එමෙන්ම ගුණය, ඥානය, වීර්යය යන මෙයින් යුක්ත වු ගැහැනිය වාසය කරන ගෙට සකල ඓශ්චර්යන්ගෙන් වැඩීම වන්නේය. සියලු යස ඉසුරින් සම්පූර්ණ වු ගෘහය වුවත් අයහපත් ස්ත්‍රියක් ප්‍රවිෂ්ට වී නම්, දිළිදු බවට පත්වන බව

“ගුණ නැණ විරිය ලිය – ඉඳින ගෙට වැඩ වේය සව්සිරි
සව්සිරි සපිරි ගේ වත් – අවගුණ ලියක වත දිළිඳු වේ “ යන්නෙන් ප්‍රකාශ වේ.

කලාතුරකින් විවිධ දුෂ්චරිතයන්ගෙන් දූෂීත වු යම් ස්ත්‍රියක් වනාහි විවාහ ජීවිතයට ඇතුළත් වූ දා පටන් ස්වාමියා කෙරෙහි ගෞරවයක් හෝ ආදරයක් හෝ සුවච ගතියක් නොමැතිව නිරන්තරයෙන් කලකෝලාහල කරමින් කලක් ගතකරනා අතර තමාගේ පළමු ස්වාමියා අත්හැර දික්කසාද වී යයි.

සමහර ස්ත්‍රීහු තම ස්වාමි පුරුෂයා සිටිද්දීම ඔහු විසින් සපයන ලද වස්තුව නොයෙකුත් දුෂ්චරිතයන් වෙනුවෙන් වියදම් කරමින් පරපුරුෂයන්ද සේවනය කරත්.

“එකකු සෙව් දෙය ගෙන – එකෙකු කවමින් සෙවිති බැඳ පෙම

කෙසරිඳු එළු ගිජිඳු – සිවල් කාකා කකා යන මෙන්”

යන ලෝකෝපකාරයෙහි දැක්වෙන ගී පාඨයෙන් මෙවැනි ස්ත්‍රීන් පිළිබඳ පැහැදිලි වෙයි. එක පුරුෂයකු විසින් උපයන ලද ද්‍රව්‍යය ගෙන අන් පුරුෂයකුට පෙම් කොට කවමින් (ස්ත්‍රීහු තුමුද සේවනය කරති. සිංහ රාජයා හෙළූ හස්ති රාජයන් කැනහිළුවන් හා කවුඩන් කකා යන්නාක් මෙනි. යනු එහි අදහසයි.

මෙහිදී සිහිපත් කළ යුතු තවද කාරණයක් ඇත. එනම් ගැහැනු දරුවන් ඇති සෑම දෙමාපියන් විසින්ම තම දූවරුන් හට දුසිරිත් ආදිය පුරුදු කර ගැනීමට අවකාශ නොතබා ඔවුනට අපේ ආර්ය සිංහල සිරිත් විරිත් පුරුදු පුහුණුූ කළ යුතුයි.

ආය¸ සිංහල සිරිත් වලට නොගැළපෙන්නා වූ අන්‍ය සිරිත් ස්වල්ප වශයෙන් වුවත් පුරුදු කරගත්තේ නම්, කල් යාමෙන් එය බේරිය නොහැකි තරම් මහත් අවුලකට පැමිණේ. ඊට සාධකයක් වශයෙන්,

”කුඩා නමුත් කළහොත් යම් දේ වැරදි
වඩා මහත් දිසිරිත් සිදුවේ අගදී
කුඩා ගැඹුර නැති දිය වැලකින් මුලදී
අඬා බහින ගංගාවක් වෙයි අගදී” යන පුරාණ කවිය සිහිපත් කරගත යුතුය.

බුදුදහමට අනුව කිසියම් ස්ත්‍රියක් පරිහානියට ලක්වන අන්දම අප මුලදි සාකච්ඡා කළෙමු. ස්ත්‍රියකගේ දූෂ්‍යයට හේතුවු කරුණු දක්වන්නා වූ විෂ්ණූ සමන් පඬිතුමා සඳහන් කරන්නේ මද්‍ය පානයද නින්දිත ජනයා හා ඇලීමද ස්වාමියාගෙන් වෙන්වීමද කැමති තැන යාමද අනුන්ගේ ගෙයි නිදීම හා විසීමද ස්ත්‍රින්ගේ දූෂ්‍යයට කාරණයෝ යනුවෙන් හැඳින්වේ.

එමෙන්ම යම් ස්ති‍්‍රයක් නිතර නිතර දබර කෙරේද , ස්වාමි පුත්‍රයාට උඩඟුව වාසය කෙරේද, අනුන්ට අනුකූලව වාසය කෙර්ද, අනුන් හා අඬ දබර කෙරේද, බොහෝ කොට අනුභව කෙරේද, අනුන්ගේ ගෘහයට වදීද, මෙබඳු ස්ත්‍රි දස දරුවන් ලදද උපේක්ෂා නොකොට හැරිය යුත්තිය.

මේ ආදී කාරණයන් ගැන සලකා බලන කළ යහපත් ස්ත්‍රියක් සරණ පාවා ගැනීමෙන් කුලය බබළන්නාක් මෙන්ම අයහපත් ස්ත්‍රියක් පාවා ගැනීම කුලය විනාශ වීමටද කාරණා වන බව ප්‍රත්‍යක්ෂ වේ.

එහෙයින් පුරුෂයන්ට ඇතිවන්නා වු දුක් සැප වැඩ අවැඩ සියල්ලක්ම තම භාර්යාවන් පිළිබඳ බැවින් සුදුසු වු යහපත් ස්ත්‍රියක්ම සරණ පාවා ගැනීම මෙලොව පරලොව දෙක්හිම අභිවෘද්ධියට හිතැත්තවුන් විසින් කළ යුත්තකි.

“රජෙක් වේවා, ගොවියෙක් වේවා, යමෙකුගේ ගෙදර සමාදානය පවතීද, හෙතෙම ඉතාම වාසනාවන්තයා වේ” ජර්මන් ජාතික “ගෝතෙ” නම් වු පඬිවරයාගේ කීම මෙහිදී ඉතා වැදගත් වේ. බෞද්ධ ගෘහස්ථ ජීවිතයක වටිනාම ලක්ෂණයද මේ සමගිය සමාදානය අගය කෙරේ. ගුණ දම් පිරි යහපත් ගෘහ ජීවිතයක් ගත කරන්නවුන්ට ඇතිවිය යුතු සැප හතරක් බුදුරදුන් වදාරා තිබේ. ඒ සැප හතර නම්,

1.අත්ථී සුඛ – තමාගේ ප්‍රමාණයට සෑහෙන තරම් වස්තුව ඇති වීම හා ලද පමණින් සතුටු වීමේ සැපය

2.භෝග සුඛ – ලද පමණ දැන පරිභෝග කිරීමේ සැපය

3.අනන සුඛ – තමාට ලැබෙන ප්‍රමාණය දැන ණය නොවී තම කටයුතු කිරීමේ සැපය

4. අනවජ්ජ සුඛ –මෙලොව පරලොව දෙකට අවැඩදායි කටයුතු නොකොට ධර්මයට අනුව පිළිපැදීමේ සැපය යනුයි.

එබැවින් යථෝක්ත සැප සතරින් යුත් පුද්ගලයා ඉතා වාසනාවන්තයෙකු බව සැලකිය යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න