පෘථග්ජනයාගේ ස්වභාවය

පෘථග්ජනයාගේ ස්වභාවය

බෞද්ධ සමාජයේ ඇතැමෙක් බොහෝ කලක සිට නිවැරැදි අර්ථය නොසළකා “පෘථග්ජන” යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කර ගැනීමට “අප ඉතින් තාම පෘථග්ජනයෝ නොවැ” යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත්නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමැති නොවනු ඇත.

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයා හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී අස්සුතවා පෘථජ්ජනෝ (අශ්‍රැතවත් පෘථග්ජනයා) යන පද යුගලයම භාවිත කොට තිබේ. අශ්‍රැතවත් යනු සද්ධර්ම ශ්‍රවණය තුළින් උපදවාගත යුතු දේ උපදවා නොගත් තැනැත්තා යන්නයි. මේ අශ්‍රැතවත් පෘථග්ජනයාගේ මූලික ලක්ෂණ පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ ලද්දේ ය. එනම් අශ්‍රැතවත් පෘථග්ජනයා වනාහි

1. අරියානං අදස්සාවි – සැබෑ ආර්ය පුද්ගලයන් නොහඳුනයි

2. අරියධම්මස්ස අකෝවිදෝ – ආර්ය ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.

3. අරියධම්මේ අවිනීතෝ – ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙකි.

4. සප්පුරිසානං අදස්සාවී – සැබෑ සද්පුරුෂයන් නොහඳුනයි.

5. සප්පුරිසධම්මස්ස අකෝවිදෝ – සද්්පුරුෂ ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.

6. සප්පුරිසධම්මේ අවිනීතෝ – සද්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු කෙනෙකි.

අශ්‍රැතවත් පෘථග්ජනයා තුළ ඉහත කී ලක්ෂණ හය නිරතුරුව විද්‍යාමානව පවතී. මෙකී ලක්ෂණයන් තිබීම හේතුවෙන්ම ඔහු අනේකවිධ මතිමතාන්තරයන්ට ද, දෘෂ්ටි සංකල්පයන්ටද, පුද්ගලයන්ටද අන්ධානුකරණයෙන් ප්‍රතිබද්ධව වාසය කරයි. ඒ පිළිබඳව සංයුත්ත නිකායෙහි “අත්තදීප සූත්‍රයෙහි” විස්තර වන්නේ මේ අයුරිනි.

මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය ආත්මයක් වශයෙන් මුලාවෙන් දකියි. ආත්මය රූපයෙන් හැදුනු දෙයක් ලෙස මුළාවෙන් දකියි.

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අශ්‍රැතවත් පෘථග්ජනයා ආත්මීය හැඟීම කේන්ද්‍ර කරගත් තැනැත්තෙක් බවයි. ඔහුට ආත්මයක් අවශ්‍ය ය. එමෙන්ම ආත්මයකට අයත් දෙයක් අවශ්‍යය. එවිට ඔහු නොදැනීම සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය ආත්ම වශයෙන් ගනියි. එමෙන්ම වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයත් ආත්ම වශයෙන් ගනියි. මෙසේ ආත්ම වශයෙන් ගැනීම නිසා සිය කය පිළිබඳව මෙන්ම තමා විඳින සැප දුක් පිළිබඳවද තමා දන්නා හඳුනන දේ පිළිබඳවද, තමන් කරන්නා වූ ක්‍රියාකාරකම් පිළිබඳවද, තමාගේ සිත පිළිබඳවද, මහත් වූ මුලාවකට පත්වෙයි. මෙබඳු තැනැත්තා දැඩි ලෙස බැඳී සිටින්නේ ඒ සියල්ල ම තමා හෝ තමාට අයත් දෙයක් වශයෙනි. මේ මතයෙන් නිදහස් වීම මොහුට කළ නොහැකිය. මොහු ආත්මය කුමක්දැයි හෝ අනාත්මය කුමක්දැයි නො දනියි. නිවන ද නොදනියි. මොහුට ඒ සියල්ලම තමා අයත් දෙයකි. සක්කාය දිට්ඨිය යනු මෙයයි. මේ සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා බුදුරජාණන් වහන්සේ සරණ ගියද, ධර්මය සරණ ගියද, ශ්‍රාවක සංඝයා සරණ ගියද ඒ සරණෙහි ස්ථිරව පිහිටා සිටින්නට අසමත් වෙයි. ඔහුගේ සරණ ද ඔහුගේ සීලයද ඔහුගේ ශ්‍රද්ධාව ද පහසුවෙන් ම විලාසිතාවක් බවට පත්වේ. ඔහු වෙනත් මති මතාන්තර සුවසේ වැළඳ ගනියි. මේ නිසා මොහු සෝතාපත්ති අංගයන්ගෙන් තොර කෙනෙකි.

භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන කල්හි නන්දිය නමැති ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අසා සිටින්නේ “ස්වාමිනි, යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන්ම මුළුමනින්ම හැම අයුරින්ම දකින්නට නැද්ද මෙවන් ශ්‍රාවකයා ප්‍රමාදී පුද්ගලයා වශයෙන් කිවයුතු නොවේද?

නන්දියෙනි, යමෙකු තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන්ම මුළුමනින්ම හැම අයුරින්ම දකින්නට නැද්ද, මා ඔහු ගැන කියන්නේ බුද්ධ ශාසනයට අයිතිි නැති පෘථග්ජන පක්ෂයට අයත් කෙනෙකු වශයෙනි යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ පෘථග්ජනයා සතර සෝතාපත්ති අංගයන්ගෙන් තොර බවයි. සතර සෝතාපත්ති අංග යනු මොනවාද? සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයෙකු තුළ අනිවාර්යෙන්ම පිහිටන ගති ලක්ෂණ සතර මොනවාද එනම් ආර්ය ශ්‍රාවකයා

බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුත්ක වූයේ වෙයි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මගඵලලාභී ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වෙයි, ආර්ය වූ සද්පුරුෂ උතුමන්ගේ පැහැදීම ඇතිවන සීලයෙහි අඛණ්ඩව පිහිටා සිටින ගුණයෙන් යුක්ත වෙයි.

මෙකී සෝතාපත්ති අංගයන් ස්ථිරව පිහිටන්නේ මඟඵලලාභීන්ට පමණි. පෘථග්ජන පක්ෂයේ සිටින අන්‍යයෝ කලකට සැදැහැයෙන් ඉපිළ යන සෙයක් පෙන්වමින් භක්තිභාව ගුණෝපේතව වාසය කරති. තවත් කලකට ඔවුන් එයම සැක කොට තිසරණය පවා අත්හැර වෙනත් ඇදහීම්වලට ගොස් ඒ අයුරින්ම භක්තිභායෙන් වසති. ඔවුහු කලකදී සීලයෙන් සුසෝභිත වූ සෙයක් පෙන්වති. තවත් කලකදී මෙකල සිල් රැකීම නොකළ හැක්කකි. යයි සිතයි. ඔවුන්ට සත්‍යයෙන් කම් නැත. ධර්මයෙන් කම් නැත. කෘතගුණයෙන් කම් නැත.

මේනිසා අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළේ නම්, ඔහු තුළ ඉන්ද්‍රිය ධර්ම පිහිටයි. ඔහු පෘථග්ජනයෙක් නොවේ. ආර්ය පුද්ගලයෙකි. ආර්ය ධර්මයෙහි හික්මුණෙකි. සද්්පුරුෂයෙකි. සද්පුරිස ධර්මයෙහි හික්මුණෙකි. ඔහු තුළ ශ්‍රද්ධා,සති, වීරිය, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රියයන් තමන්ගේ අවබෝධයෙහි ප්‍රමාණයට පිහිටා ඇත්තේය. ඔහු සතර අපායෙන් මුදවා සුගතිය කරා ගෙන යන්නේ තමන් තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලයෙන් විනා වෙනකක් නිසා නොවේ. පෘථග්ජනයා තුළ එබඳු ඉන්ද්‍රියයන් පිහිටා නැත්තේය.

බුදුරජාණන් වහන්සේ නමක් ලොවෙහි පහළ වන්නේ දෙව් මිනිස් ලෝකයා මේ පෘථග්ජන භාවයෙන් මුදවාලීම පිණිසය. සද්පුරුෂ ධර්මයෙහි හික්මවාලීම පිණිසය. ඒ හේතුවෙන් සසර ගමනෙහි නිමග්නව සිටින පුහුදුන් සත්ත්වයෝ සත්‍යාවබෝධය නිසාවෙන් ම ඒ පුහුදුන් ගතියෙන් නිදහස් වෙති. ඔවුහු හේතුඵල දහම පසක් කළාහු වෙති.

පෘථග්ජනයා මමය, මාගේය, මාගේ ආත්මය කියා තමා කේන්ද්‍ර කොට සියල්ලට මුළාවෙන් බැඳී සිටිද්දී එයින් නිදහස් වූවන් සිතන්නේ එයට හාත්පසින්ම වෙනස් අයුරිනි. ලෝකයෙහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ලම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ධර්මතාවයෙන් යුක්තය යන අවබෝධයයි. මෙය “ධම්මචක්ඛු” හෙවත් “දහම් ඇස” කියා හඳුන්වයි. මේ දහම් ඇස පෘථග්ජනයාට නැත්තේය. එය භාග්‍යවතුªන් වහන්සේ වදාළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලෝක ස්වභාවයට අයත් හේතුඵල දහම අවබෝධ වීමෙන්ම උපදින්නා වූ ඇසකි. එම ඇස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් උපදින භාග්‍යවතුන් වහන්සේටම අයත් දෙයක් මිස වෙන කිසිවෙකුට අයත් දෙයක් නොවේ. ඒ ඇස උපදින තුරු ලොවෙහි සියල්ලෝ පෘථග්ජනයෝය. සතර අපායෙහි වැටී වැටී දුක් විඳින්නෝ ය. අර්යයන් වහන්සේ නො හඳුනන්නෝය. ආර්ය ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝය. ආර්ය ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝය. සද්පුරුෂයන් නො හඳුනන්නෝය. සද්පුරුෂ ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝය. සද්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝය. මේ පුහුදුන් බව යනු කෙතරම් බිහිසුණු ස්වභාවයක්ද?

Advertisements