පඤ්‌චඞ්‌ගිකසමාධි සූත්‍රය

28. මහණෙනි, පසඟින් යුත් ආර්ය්‍ය වූ සම්‍යක්සමාධිහුගේ භාවනාව දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය, වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, ආර්ය්‍ය වූ පඤ්චාඞ්ග සමන්‍වාගත සම්‍යක් සමාධිහුගේ භාවනා කවර යත්:

(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවෙකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. හෙ මෙ කරජකය ම ප්‍රථමධ්‍යාන විවෙකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් තෙත් ගන්වයි. හාත්පස තෙමයි. හාත්පසින් පුරවයි. වටා පතුරුවයි. ඔහුගේ හැම ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කායයාගේ කිසිවක් විවෙකජ ප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, දක්‍ෂ වූ නැවෑමියෙක් වේවයි නැවෑමි අතවැස්සෙක් වේවයි කස්තලියෙහි නහනසුණු හෙළා දියෙන් ඉස ඉස යම් සේ හනා ද, ඔහුගේ ස්නානීයපිණ්ඩය උදකස්නෙහය අනුව ගියේ ස්නෙහ පරිගත වූයේ ඇතුළත – පිටත දියෙන් පහස්නා ලද්දේ නො ද වැගිරෙයි. මහණෙනි, එ පරිදි ම මහණ මේ කරජකය විවෙකජ ප්‍රීතිසුඛයෙන් තෙමා ලයි. වටා තෙමා ලයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. සර්‍වාඞ්ගයෙන් යුතු ඔහුගේ කායයාගේ කිසිත් විවෙකජප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, පඤ්චාඞ්ග සමන්‍වාගත ආර්ය්‍ය සම්‍යක්සමාධිහුගේ මේ ප්‍රථම භාවනාවයි.

(2) තවද මහණෙනි, මහණ විතර්‍ක – විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ කරජකය ම සමාධිජ ප්‍රීතිසුඛයෙන් මැනැවින් තෙමයි. හාත්පසින් තෙමයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. ඔහුගේ සියලු ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කිසිදු ශරීරාඞ්ගයෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ඇතුළත උනන දිය ඇති දිය විලෙක් යම් බඳු වේ නම්, එයට පැඳුම් දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. පැළදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. උතුරුදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. දකුණු දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. මේඝය ද කලින් කල සම්‍යක් වර්‍ෂාධාරාව නො වස්වන්නේ ය. වැලිත්, එ දියවිලින් සීතවාරිධාරායෙක් බිඳ නැගී එ දියවිල ම සිහිල් දියෙන් තෙමන්නේය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. වටා පතුරුවන්නේ ය. එ සියලු දියවිල්හි කිසිවක් සිහිල්දියෙන් නො පහළේ නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම සමාධිජප්‍රීතිසුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේය. පතුරන්නේ ය. ඔහුගේ සියලු සිරිරි පිළිබඳ කිසිදු තැනක් සමාධිජප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මේ ද්විතීය භාවනා යි.

(3) තවද මහණෙනි, මහණ ප්‍රීතිහුගේත් විරාගයෙන් … සුඛයද කයින් විඳී … ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිවක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වේ.

මහණෙනි, නිලුපුල් විලෙක් වේවයි, පියුමාරෙක වේවයි, පඬෙරවිලෙක වේවයි, ඇතැම් උත්පලයෝ හෝ පද්මයෝ හෝ පුණ්ඩරීකයෝ හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් නො නැගුනාහු ජලතල ඇතුළත ම නිමග්නව වඩනා හ. ඔහු අග පටන් මුල දක්වා සිහිල් දියෙන් තෙමුනාහු හාත්පසින් තෙමුනාහු පිරිපුන් වූවාහු හාත්පසින් පහළාහු වෙත්. එ විල්හුගේ සියලු උපුලන්ගේ වේවයි පද්මයන්ගේ වේවයි පුණ්ඩරීකයන්ගේ වේවයි සිහිල් දියෙන් හාත්පස නො පහළ කිසිදු නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ ම කය නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. පතුරුවන්නේ ය. ඔහුගේ සියලු කායයාගේ කිසිවක් ම නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මෙ තෘතීයභාවනා යි.

(4) තවද මහණෙනි, මහණ සුඛයාගේද ප්‍රහාණයෙන් … උපෙක්‍ෂාවෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි ඇති චතුර්ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. හෙ මෙකය ම පරිශුද්ධ පර්ය්‍යවදාත චතුර්ත්‍ථධ්‍යාන සිතින් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු කායයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂයෙක් සුදුවතින් හිසින් වටා පෙරව ගෙණ හුන්නේ වේද, ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් අවදාතවස්ත්‍රයෙන් නො පහළේ නො වන්නේ ය. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම පරිශුද්ධ පර්ය්‍යවදාත චිත්තයෙන් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, ආර්ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ චතුර්ත්‍ථභාවනා යි.

(5) තවද මහණෙනි, මහණහු විසින් ප්‍රත්‍යවෙක්‍ෂා නිමිත්ත (ඥානය) මොනොවට ගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරණ ලද්දේ, මොනොවට බලන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. මහණෙනි, යම්සේ අනෙකෙක් හෝ අනෙකකු ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ ද, සිටගත්තෙක් හෝ හුන්නක්හු ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ ද, හුන්නෙක් හෝ හෝනක්හු ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ ද, මහණෙනි, එ පරිදි ම මහණහු විසින් ප්‍රත්‍යවෙක්‍ෂා නිමිත්ත මොනොවට උගන්නා ලදුයේ, මොනොවට මෙනෙහි කරණ ලදුයේ, මොනොවට බලන ලදුයේ, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලදුයේ වෙයි. මහණෙනි, ආර්ය්‍ය පඤ්ඤාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ පඤ්චම භාවනා යි.

මහණෙනි, මහණ මෙසේ ආර්ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය භාවිත කල්හි මෙසේ බහුලීකෘත කල්හි අභිඥායෙන් පසක් කටයුතු යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස චිත්තය නැඹුරු කරන්නේ ය. කාරණ (අභිඥා) ඇති වත් ම ඒ ඒ විෂයෙහි ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නේ ය.

මහණෙනි, යම් සේ දියසැළෙක් ආධාරයෙහි තබන ලදුයේ දිය පිරුණේ, සම්භෘත වූයේ (මුව හා සමව පුරුවන ලදුයේ), කාකපෙය වූයේ (කවුඩන් විසින් ගෙල නොනමා පිය හැකි වූයේ) වේ ද, බලවත් පුරුෂයෙක් තෙල දියසැළ යම් යම් පසෙක සිසාරන්නේ වේ නම්, (ඒ ඒ පසෙහි ඒකාන්තයෙන්) දියනැගේ ද? ‘එසේ ය වහන්ස’. මහණෙනි, එ පරිදි ම මහණ ආර්ය්‍යපඤ්චාඞ්ගික සම්‍යක්සමාධිය මෙ සේ භාවිතවත් ම මෙසේ බහුලිකෘතවත් ම අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් පසක් කිරීම පිණිස සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.

මහණෙනි, යම්පරිදි සමභූමිභාගයෙක්හි සිවුරැස් වූ, මියර බැඳි, දිය පිරි, මුවතෙක් පිරි, කවුඩනට (ගෙල නොනමා) පිය හැකි පොකුණෙක් වේ ද, බලවත් පුරුෂයෙක් තෙල මියර බිඳුනේ නම් (එකැතින්) දිය නැගේ ද? ‘එසේය, වහන්ස.’ මහණෙනි, එ පරිදි ම මහණ ආර්ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය මෙසේ භාවිතවත් ම මෙසේ බහුලීකෘතවත් ම, අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

මහණෙනි, යම් පරිදි සමබිමෙක්හි සිවුමංසන්‍ධියෙක විනීත අශ්වයන් යෙදූ රථයෙක් (ගමනට) යුතු කොට තැබූ (වහා ගන්නට නිසිසේ සරස්හි) බහාතැබූ කැහිටි ඇතියේ වේ නම්, තෙල රථය දක්‍ෂ වූ අස්දම් සැරි අසැදුරෙක් නැග වමතින් රැහැන් ගෙණ දකුණතින් කැහැටි ගෙණ කැමැති මඟකින් කැමැති වෙගයකින් යවන්නේත් නවත්වන්නේත් වෙයි. මහණෙනි, එසේ ම මහණ ආර්ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය මෙසේ භාවිතවත් ම, මෙසේ බහුලීකෘතවත් ම, අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් යම් ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ ධර්‍මයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

ඉදින් හෙ “අනෙකවිධ ඍද්ධිවිධඥානය වළඳම් වයි – එකක්ව ම බහුප්‍රකාර වෙම් වයි … බඹලොව දක්වා කයින් වසය වටම්ව”යි කැමැති වේ නම්, ඒ ඒ ඍද්ධිවිධයෙහි ම අභිඥායතන ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

හෙ ඉදින් “විශිෂ්ට වූ … දිවසෝධයින් දුර වූ ද ලඟ වූ ද, දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද, උභයශබ්දයන් අසම්ව”යි කැමැති වේ නම්, ඒ ඒ ශ්‍රවණයෙහි දිවසෝධා ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

හෙ ඉදින් “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නෙම් වයි – සරාග වූ හෝ චිත්තය සරාග චිත්තය යි දන්නෙම් වයි … අවිමුත්ත වූ හෝ චිත්තය අවිමුත්ත චිත්තය යි දන්නෙම්ව”යි … කැමැති වේ නම්, පරචිත්තඥානය ඇතිවත් ම ඒ ඒ චිත්ත ඥානයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

හෙ ඉදින් “අනෙකවිධ පූර්වෙනිවාසය සිහි කෙරෙම්ව යි – එනම්: එක් දැයකුදු දෙදැයකුදු … මෙසේ ආකාර සහිත උද්දෙස සහිත අනෙකවිධ පූර්වෙනිවාසය සිහි කෙරෙම්ව”යි කැමැති වේ නම්, පූර්වෙනිවාසඥානය ඇතිවත් ම ඒ ඒ නිවාසයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

හෙ ඉදින් “මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් … කම් වූ පරිදි මිය යන සත්ත්‍වයන් දනිම්ව”යි කැමැති වේ නම්, දිව්‍යචක්‍ෂුර්ඥානය ඇතිවත් ම ඒ ඒ ඥානාඞ්ගයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

හෙ ඉදින් “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්තසමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්තප්‍රඥාව) ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට සමවැදී වෙසෙම්ව”යි කැමැති වේ නම්, ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විමුක්තියෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

Advertisements