භාවනා කරමු 12

තමාගේ සිතටම එබී බලන්න

බුදුරජාණන් වහන්සේ සිතේ දියුණුවට අනුගමනය කළ යුතු ක්‍රම හතළිහක් වදාළා. එය සිතේ තැන්පත්කමට හේතු වෙයි. කාමච්ඡන්ද නීවරණය හෙවත් තණ්හාව, ව්‍යාපාද නීවරණය ,වෛරය , ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළි ගැනීම, පරුෂ ගති, බද්ධ වෛරය, ශෝකය ,ඇඬීම, පරිදේව නොහොත් දුක් අඳෙීනා නඟමින් හැඬීම, සිතේ කුසීතකම ආදිය සමථ භාවනාවෙන් සංසිඳෙයි.

ථීනමිද්ධ නීවරණය හෙවත් කම්මැළිකම යනු සිතේ, ගතේ ඇතිවන මන්දෝත්සාහී ගතියයි. තම දිවිමඟ සාර්ථක කර ගැනීමට මෙසේ හඳුන්වාදෙන භාවනා ක්‍රම මහෝපකාරී වෙයි. ථීනමිද්ධ ලක්ෂණය යනු සිතේ, ගතේ හැකිළිමයි. එය සුගතිය, නිර්වාණය වසන නීවරණයකි. අලස පුද්ගලයා දවසේ තුන්වරුවම නිදා ගැනීමට ප්‍රිය කරයි. දාන ,ශීල පින්කම්,භාවනා වඩන්නේ නැහැ. මේ නිසා අලසකම බොහොම භයානකයි. මේ මොහොත සීතලයි. උණුසුමයි. දැන් උදේ කාලයයි , සවස් කාලයයි, මේ මොහොතේ කුසගිනියි. මේ දැන් ආහාර ගත්තා පමණයි. යනුවෙන් තමන්ට නියමිත වැඩ පසුවට කල් තැබීම කම්මැළියාගේ ලක්ෂණයි.

උද්දච්ඡ කුක්කුච්ඡ නීවරණයෙන් නිවන තවත් දුරස් කරයි. විචිකිච්ඡාව ඇතිවෙන්නේ භාවනා පිළිබඳ නොදියුණු සිතටයි. ඒ සිතෙහි සමාධිය වැඩෙන්නේ නැහැ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය, ශික්ෂාව, අතීත සංසාරය, අනාගත සංසාරය, වර්තමාන ජීවිතය, පටිච්ච සමුප්පාදය ආදී අට ස්ථානයන් ගැන සැක සිතන්නාට ඇත්තේ තදබල විචිකිච්ඡාවයි. මේ ගැන ලොවුතුරු බුදු දහමේ බොහෝ තැන්වල පැහැදිලි කරයි.

පංච නීවරණ ආදිය මාතෘකා මඟින් බුදුරදුන් වදාළ දේශනාවන්ගෙන් ප්‍රහාරණය කළ යුතු දේ, ඉවත් කළ යුතු දේ කුමක්ද යනුවෙන් සඳහන් වෙයි. සුගතියේ දොරගුළු වසා දමා අපා දොරටු විවර කරවා නිවන් මඟ දුරස් කරවන නීවරණයන් පහ අනිවාර්යෙන්ම ඉවත් කළ යුතුයි. සෑම සත්ත්වයෙකුගේම සිතේ සතුට සහ නුවණ නොමැතිවිට ඉස්මතුවන්නේ නීවරණයි. මේ නීවරණ පංචකය තමාගේ සිතට විවිධ අවස්ථාවලදී දැනෙන්නට පුළුවන්.

බුදුරජාණන් වහන්සේ නීවරණයන් දුරුකර ගැනීමට උපදෙස් මාලාවක් වදාළා. තණ්හාව මගේ සිතේ තියෙනවා. එය සිතේ පහළ වෙනවා. තණ්හාව අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් බොහෝ වේලාවක් මෙනෙහි කළ යුතුයි. සිතට තරහව, වෛරය, ක්‍රෝධය මතුවුණොත් එය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න. කම්මැළිකම, සිතේ විසිරීම, සැකය ආදී පංච නීවරණයෝ අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව මෙනෙහි කරන්න. මෙය නීවරණ විදර්ශනාවයි. ඕනෑම කෙනෙකුට නීවරණ පංචකය ඉගෙන ගන්න පුළුවන්.

මෙය දෙආකාර වෙයි. නීවරණයන් දෙස විදර්ශනා නුවණින් බලා සංසාර ගමන කෙටිකර නිවනට පත්වීම සහ සමථ භාවනාවෙන් නීවරණ තාවකාලිකව යටපත් කිරීම වෙයි.

තණ්හා , වෛර, ක්‍රෝධ කෙලෙස්වලින් සෑම දෙයක්ම විනාශයට පත් වන බව අවබෝධයෙන් වහා වටහා ගන්නැ’යි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් සේක. පංච නීවරණයෝ උපදින තරමටම ඒවා අත් හරින ක්‍රමය දැන ගත යුතුයි. නූපන්නා වූ කාමච්ඡන්දය උපන්න බවත්, උපන්නා වූ කාමච්ඡන්දය දියුණු වෙන බවත් දත යුතුයි. මේ පිළිවෙළ හොඳින් දැනුම්වත්ව තමන්ගේ ජීවිතයට සැනසුම උදාපත් කරගන්න පුළුවන්. සිතේ ආරක්ෂාව, සිතේ විනාශය තම තමාම දැනගත යුතුයි.

සිත සකසා ගන්නා ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපට පහදා දුන්නා. සිතේ දියුණුවෙන් සංසාර ගමන ඈතින් ඈතට ගමන් කිරීම නවතා දැමීමට පුළුවන්. බුදු, පසේ බුදු, මහරහත් උතුමෝ සසර ගමන නවතා දැමුවා. සංසාරෙන් එතෙර වීම යනු නීවරණයෝ සහමුලින්ම නැති කිරීමයි. නිදසුනක් ලෙස දැක්වුවොත් නුග ගසක් අගින් , මැදින් හෝ මුලින් කපා දැමුවොත් නැවත ලියලයි. එය මුලත් සමඟින් මුලිනුපුටා දැමුවොත් නැවත ගස නොපැළවෙයි. එසේම රහත් සංතානය යනු නීවරණයෝ මුලුමනින්ම ඉවතට දැමීමයි. නැවත ලියලන්නේ නැති එහි හටගැනීමක් ද නැහැ.

රහතන් වහන්සේගේ සිත පිවිතුරුයි. උන්වහන්සේ අතින් පින්, පව් දෙකම නොකෙරෙයි. රහතන් වහන්සේ නිවනට පිවිසුණු බැවින් නිර්භීතයි. කුමන ස්ථානයක වුවද වාසයට සුදුසුයි. වන සතුන් සමඟ ද වාසය කළ හැකියි. උන්වහන්සේගේ සිත නිවනට පත් බැවින් සත් දිනක් වුවද නිරෝධ සමාපත්තියෙන් වාසය කළ හැකියි. මේ තත්ත්වයට පත්වෙන්නැ’යි බුදු දහමෙන් අපට උපදෙස් දෙනවා.

තණ්හාව, තරහව, මෝහය නැතිකර සිත අලෝභ , අදෝශ, අමෝහ තත්ත්වයට පත් කරන්න පුළුවන්. එය නීවරණ විදර්ශනාවයි . මෙසේ නීවරණ විනාශයට පත්කරන්න ඉගෙන ගත යුතුයි. තණ්හාව, ත්‍යාගයෙන් නැති කළ යුතුයි. තරහව මෛත්‍රී භාවනාවෙන් සහ සිල් රැකීමෙන් නැති කළ යුතුයි. කම්මැළිකම උත්සාහයෙන් නැති කරන්න පුළුවන්. සිතේ විසිරීම, භාවනා ක්‍රමවලින් නැති කරන්න. ධර්මය පිළිබඳ හොඳ දැනීමකින් සැක සාංකාව දුරු කළ යුතුයි. එසේනම්, ලොවුතුරා බුදු දහම කවුරුත් හොඳින් දැන ගැනීම වැදගත්.

භාවනාවට සහ ධර්ම ශ්‍රවණයට මූලික තැන දී පංචනීවරණයෝ නොහොත් කෙලෙසුන් දුරු කළ යුතුයි. මේවා සම්පූර්ණයෙන් නැති කර තම තමන්ගේ චිත්ත සන්තානය ආලෝකවත්ව බුද්ධ ශාසනය ආරක්ෂාවෙන් ඉදිරියට යන්න පුළුවන්. ඡන්ද, චිත්ත, විරිය, විමංසා ඍද්ධිපාදයෝ සතර සෑම සිතකම වැඩුණොත් බලය ශක්තිය වැඩියි. කරන කියන සෑම දෙයක්ම සරුසාර වෙයි. පින් දහම් කිරීමේදී සසරේ දිගු ආයුෂ ලැබෙයි. එසේ කල්පනාවෙන් ලොවුතුරා බුදු දහම තම ජීවිතයට සම්බන්ධ කර අඩුපාඩුකම් ඉවත දමා භාවනාවට සිත යොමු කළ යුතුයි. එසේනම්, නීවරණයෝ සංසිඳීමේ පිළියම ආනාපානසති භාවනාවයි. ආනාපානසති භාවනාව නොපිහිටන්නෝ මෛත්‍රී භාවනාවෙන් සහ බුදු ගුණ භාවනාව වඩන්න. තමන් පළමුව විනාඩි පහකින් භාවනාව පටන්ගෙන එය දිනපතා ක්‍රමයෙන් වැඩි දියුණු කර සිත සකසා ගැනීම කායික, මානසික සුවයට සුවදායක වෙයි.

Advertisements