භාවනා කරමු 11

මේ පින්බර මොහොතේ ලබමු සැනසුම මෙලෙසේ

ආනාපානසති භාවනාව කවුරුත් දියුණු කළ යුතුයි. මෙය අනුන්ට නෙමෙයි, තමන්ගේ දියුණුවටයි. අසංවර වූ සිත සංවර කරගැනීමට , සිතේ පහළවෙන පවිටු චේතනා ඉවත් කරන්න, කුසල චේතනා දියුණු කරන්න, ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කරන්න සුවිශේෂී වූ මේ උතුම් භාවනාව පිළිබඳ ධර්මයේ මෙසේ සඳහන් වෙයි.

භාවනාව යනු සිතේ වැඩීමයි. සිතේ දියුණුවයි. තප්පරයෙන් තප්පරය සිතේ දියුණුවයි. නමුත්, ධ්‍යාන නැවත වෙනස් වෙයි. ලෝභ, ද්වේශ, මෝහ ආදී අරමුණු නිසා ධ්‍යානයන් විනාශයට පත් වෙයි.

අප බෝසතාණන් වහන්සේ සංසාර සාගරයේ අතීත ආත්ම භාවයක ධ්‍යාන අභිඤ්ඤාව උපදවාගෙන අහසින් ගමන් කරන්න සමත් වුහ. නමුත් බලන්න, උන් වහන්සේ කෙලෙසුන්ගේ වසඟයට පත්වී නැවත පා ගමනින් වැඩම කළහ. ධ්‍යාන අභිඤ්ඤාව වුණත් නැවත වෙනස් වෙනවා . එය අස්ථිරයි. නිවන් මඟ මෙන් ස්ථිර නැහැ. නමුත් ධ්‍යාන විනාශයට පත් වුණොත් නැවත දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. එහෙත්, මාර්ගඵල ධර්මයෝ කිසි දවසක වෙනස් වන්නේ නැහැ. එය ශෛලමය පර්වතයක් සේ සොලවන්නට බැහැ. කිසිවිටකත් කම්පාවෙන්නේ නැහැ. මෙසේ විනාශ කරන්නට නොහැකි වන්නේ මාර්ගඵල අවස්ථාවයි.

අප සිහිකල්පනාව දියුණු කළොත් බොහොම වැදගත් වෙයි. භාවනා සිතටම, දියුණු සිතකට ලැබෙන්නේ මාර්ගඵල අවස්ථාවයි. සසරේ අතීත ආත්ම භාවයක අපේ බෝසතාණන් වහන්සේ මහණදම් පුරා ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන අහසින් ගමන් කළ උත්තමයෙක්. සූර්යා, චන්ද්‍රයා ස්පර්ශ කරන්න තරම් හැකියාවක් තිබුණා. එතරම් දියුණු අවස්ථාවක වැඩ සිටි මේ ස්වාමීන් වහන්සේ කෙලෙසුන්ගේ වසඟයට පැමිණ ධ්‍යාන අභිඤ්ඤාවලින් පිරිහී, සිවුරෙන් ඉවත්ව ගිහි ගෙදර වාසය කළා. එක්තරා දවසක මොහු තම ශක්තියෙන් වැඩපොළ කර නෙළන ලද දරමිටියකුත් හිසේ තබාගෙන පැමිණියා. මේ දසුන දුටු කුඩා ස්වාමීන් වහන්සේ නමක් විහිළුවට මෙන් මෙසේ පැවසුවා. අන්න පොඩි ඥාති වරයෙක් එනවා, බාප්පා එනවා යැ’යි උසුළු විසුළු කළා. මෙය ඇසුණු මොහු දර මිටිය පසකින් තබා මෙසේ පැවසුවා. ස්වාමීනි, මට සමාවන්න, ඔබ වහන්සේ මෙසේ විහිළු තහළු කරන්න එපා. මාත් මහණදම් පිරූ පුද්ගලයෙක්. චන්ද්‍රයා සහ සූර්යයා ස්පර්ශ කළ අයෙක්. ධ්‍යාන අභිඤ්ඤාලාභී වූ මා ගුවනින් පවා ගමන් කළ පුද්ගලයෙක්. කෙතරම් දේ තිබුණත් කෙලෙසුන්ගේ වසඟයයේ මුළා වූ මා විනාශයට පත්වුණා. බලන්න, මගේ දෑත් දෙස? කරගැට වලින් පිරිලා. සිරුරෙහි වැලි තැවරිලා, මා දැන් මහල්ලෙක් වාගෙයි. බොහොම දුක් විඳිනවා. අනේ! පොඩි ස්වාමීන් වහන්ස, මට විහිළු තරළු කරන්න එපා. ඔබ වහන්සේ බණ භාවනා කර නිවන් සම්පත්ම ලැබිය යුතුයි. ලෝභය, ද්වේශය, මෝහ නිසා අප විනාශ වෙනවා. මා විනාශ වුණෙත් එලෙසමයි. එබැවින්, ඔබ වහන්සේ විනාශ වෙන්න එපා. මහණකම හොඳින් රැක ගන්නැ’යි උපදෙස් මාලාවක් ලබාදී මේ තැනැත්තා පිටත් වුණා. පේනවා නේද? කෙලෙසුන්ගේ බලවත්කම. ඉර, හඳ අතගාපු උදවියටත් පයින් ගමන් කරන්න සිදු වුණා.

කෙලෙසුන් නිසා ධ්‍යාන අභිඤ්ඤා වෙනස්ව යයි. එය ස්ථීර නොමැති බැවින් ඒ අවස්ථාව පාදක කරගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කර මාර්ගඵල අවස්ථාවට යන්නට ඕනෑ. එය අසීරු දෙයක් නොවෙයි. අභිඤ්ඤා ලාභීත්වයට පත්වූ ශරීරය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කර අස්ථීර බව වටහා ගන්න. ස්ථීර වූ නිවන අපේක්ෂාවෙන් ඉදිරියට පිවිසෙන විට ඒ විපස්සනා ඥාන පහළ කරගන්න පුළුවන්කම තිබෙනවා.

නැවත, ආනාපානසති භාවනාව භාවිතයෙන් අපට ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන මාර්ගඵල අවස්ථාවට සමීප වෙන්න පුළුවන්. එවැනි උත්තරීතර අවස්ථාවක් බුදු දහමෙන් අපට ලැබී තිබෙනවා. බුදු දහම යනු නිකෙලෙස් නිවැරැදි දහමක්. අකුරක්වත් එකම තැනකවත් වැරැදි නැහැ. මේ සියලු භාවනා ක්‍රම වදාරන ලද්දේ බුදු පියාණන් වහන්සේ විසින්මයි. බුදු ගුණ භාවනාව, දහම් ගුණ, සඟ ගුණ ආදී සෑම ගුණයක්ම.

සංයුක්ත නිකායේ සම්පූර්ණ ග්‍රන්ථයක අනිත්‍ය,දුක්ඛ, අනාත්ම මෙනෙහි කරන අයුරු සඳහන් වෙනවා. ඇස අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි. කන අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි. නාසිකාව අනිත්‍යයයි, දුක්ඛයි ,අනාත්මයි. දිව අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි. කය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි. මෙලෙස ආයතන හයම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එවිට ගතයුතු මුකුත්ම නැති බව වැටහේවි. එය වෙනස්ව යනවා. එයින් අපට ලැබෙන විදර්ශනා ඥානයෙන් විශාල දියුණුවක් සකසා ගන්න පුළුවන්කම තිබෙයි.

මේ ශරීර කූඩුව වියපත්ව, ජරා ජීර්ණව ඔත්පල වෙනවා. දුක් විඳින තත්ත්වයට පත්ව මිය යනවා. එසේ වටහාගෙන මේ ශරීරය අනිත්‍යයයි. දුක්ඛයි, අනාත්මයි යනුවෙන් සියවර දහස්වර මෙනෙහි කරන්න. මෙය සම්මසන ඥානයයි. ඒ සම්මසන ඥානය පිහිටාධාරව ඇතිවීම, නැතිවීම දකිමින් ඉදිරියට විදර්ශනා නුවණ දියුණු කළ යුතුයි.

බුදු දහමට අනුව අනිත්‍යයයි යනුවෙන් සිතුවත් ඇති බව සඳහන් වෙයි. එතරම් වටිනා වදන වන්නේ අනිත්‍ය ලක්ෂණයයි. දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ගැන සිතා සිහි කල්පනාවෙන් බුදු දහමෙන් අපට ලැබෙන අභ්‍යාසය දියුණුවෙන් බොහෝ වේලාවක් තම තමන්ගේ සිත දහමට යොමු කරමින් කටයුතු කළ යුතුයි. එවිට තමන්ගේ මෙලොව පරලොව ජීවිත මෙන්ම සංසාර ගමනත් බොහොම හොඳින් ගතකර අවසානයේ කෙළවරක් දකින්න පුළුවන්. එහෙම නොවුණොත් අපට සැමදා දිවි ගෙවන්නට වෙන්නේ සතර අපාගතවයි.

පෙර වාසනාවකට මෙන් අපට අපායෙන් නිදහස් වී මනු ලොවේ උපත ලබා බුදු සසුනක් ලැබුණා. මනුස්ස දිවියයි, බුදු සසුනයි ලැබූ මේ පින්බර මොහොතේ පුළුවන් තරමින් පින් දහම් කළොත් අපට සංසාරෙන් එතෙර වන්නට පුළුවන්. එබැවින් කවුරුත් ආනාපානසති භාවනාව සඳහන් කළ ආකාරයෙන් දියුණු කරගැනීම අගෙයි. එය තමන්ම මෙනෙහි කර භාවනා ක්‍රම ඉදිරියට ගෙන යා යුතුයි. ගැටලුවක් මතු වුණොත් කම්මට්ඨානාචාර්යන් වහන්සේ නමකගෙන් අසා දැන ගත යුතුයි. එසේනම්, ආනාපානසති භාවනාව දියුණුවෙන් සති, සමාධි, ඥාන දියුණුවෙන් තමන්ගේ ජීවිතයට පින ඒකාරාශීකර නීවරණයන් සංසිඳුවාගෙන බුදු සසුනත් රැකගත යුතුයි. පාරමී ගුණ දියුණුවෙන් ඔබ, අප සැමටම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු , පසේ බුදු, මහරහතන් වහන්සේ නිවී සැනසී වදාළ අමා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ උතුම් පින වූ අනාපානසති භාවනාව හේතු වේවා! වාසනා වේවා!’යි සිතමින් පින්වත් සැවොම නිවනින් සැනසුම පතන්න.

Advertisements