භාවනා කරමු 10

දුවන පනින සිත අරමුණක පිහිටුවන්න

“සිත හරියට කම්හලක් වගෙයි, නගරයක් වගෙයි” යනුවෙන් කියමනක් තිබෙනවා. නගරය එතරම්ම කරදර බාධක තිබෙන ස්ථානයක්. එසේම, අපේ සිතත් කලබලකාරියි. ඒ කලබලකාරී වූ සිත තැන්පත්කර ගැනීමට ලොකු වෙහෙසක් දැරිය යුතුයි. ආනාපාන සතිය එයට බොහොම ප්‍රයෝජනවත්. වනාන්තරයකින් අල්ලා ගත් කුළුහරකෙක්, ගවපාලකයා මෙල්ල කරන්නේ බොහොම අසීරුවෙන්. මේ සතා කණුවක ගැට ගසා වතුර දුන්නත් , ආහාර දුන්නත් කන්නේ බොන්නේ නැතිව කණුව වටේම කරකැවෙනවා. මෙසේ කරකැවෙන සතාගේ ගෙල යම් දවසක කණුවටම තද වුණොත් ඒ මොහොතේ ගව හිමියා මේ සතාගේ සිරුර අත පත ගාමින් හීලෑ කරනවා. එවිට මේ සතාගේ වල්මත් ගතිය අඩුවී ස්වාමියාට කීකරු වෙනවා. මෙලෙස අපේ සිතත් වනාන්තරයෙන් අල්ලා ගත් කුළුහරකෙක් වගේ අකීකරුයි.

ඇස, කන, නාසය,දිව,සම , සිරුර නිසා රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධර්ම අරමුණු නිසා අකීකරු සිත අරමුණු හයක් ඔස්සේ දුව පැන යනවා. එය කෙසේවත් නවතාගන්නට බැහැ. නැවත එහෙ මෙහෙ දුවනවා. තද නින්දට වැටුණුවිට පමණක් භවාංග සිත දුවන්නේ නැහැ. අනෙක් සෑම වෙලාවකම චිත්ත වීතියට අනුව භවාංග සිත පහළ වෙනවා. එතරම් වේගයෙන් දුවන සිත, චංචල සිත සංවර කරගන්නට එක අරමුණක පිහිටුවා ගන්නට ලොකු වෙහෙසක් දරන්න අවශ්‍යයයි.

අල්ලා ගත් ගවයා හීලෑ කර යම් තත්ත්වයකට ගත්තා සේ දුවන පනින මේ අසංවර වූ සිත එක අරමුණකට ගන්න භාවනා අරමුණක සිත පිහිටුවිය යුතුයි. උදාහරණයක් වශයෙන් බුදු ගුණ භාවනාව වැඩීමේදී අරහං යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. මෛත්‍රී භාවනාව වැඩීමේදී සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යනුවෙන් මෙනෙහි කරන්න. කායගතා සති භාවනාව වඩද්දී කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ යනුවෙන් මෙනෙහි කරන්න. මරණානුස්සති භාවනාව වඩද්දී ජීවිතය අනියතයි, මරණය නියතයි. .. යනුවෙන් මෙනෙහි කරන්න. මෙසේ සිත එක අරමුණක තබා බොහෝ වේලාවක් දහස්වර, දස දහස්වර මෙනෙහි කරන්න පුළුවන් නම් අගෙයි. එවිට විවිධ අරමුණු අඩුකර එක අරමුණක පමණක් අපේ සිත පිහිටුවනවා. මේ මඟින් දුවන පනින සිත එක අරමුණක පිහිටුවන්න පුළුවන්. එබඳු වාසනාවන්ත අවස්ථාවක් වන්නේ සිතේ තැන්පත්කමයි. ශීලය හොඳයි, ගුණ ධර්ම හොඳයි. ඒ නිසා සිත තැන්පත්වී බණ භාවනා කටයුතු දියුණු කරන්න පුළුවන්. භාවනාවට සැරසෙන පුද්ගලයා ශිීලවන්තයෙක් විය යුතුයි. ශිලයේ පිහිටිය යුතුයි. නුවණ, උත්සාහය, තිබිය යුතුයි. තැන්පත් සිතක් ඇති කරගෙන භාවනා ක්‍රම ඉදිරියට ගෙන යා යුතුයි.

සැමටම ආනාපානසතිය හොඳයි. නමුත් සමහරෙකුට එය අසීරුයි. ආනාපානසති භාවනාව වැඩීමෙන් සිහිකල්පනාව යහපත් වෙනවා. අමතක වෙන්නේ නැහැ. ඕනෑම දෙයක් විමසා බලා කටයුතු කරන්න සමත් වෙනවා. සිහි කල්පනාව දියුණුව යනු ඥාන ශක්තියේ දියුණුවයි. සති මති යනුවෙන් එය හඳුන්වනවා. ඥාන සති, එය සති සම්පඤ්ඤයි. සිහි නුවණයි. මෙය තනි වචනයකට ගත්විට අප්‍රමාදයයි. අප්‍රමාදය යනු සිහි නුවණ වෙනුවෙන් භාවිතා කරන තවත් වදනක්. මේවා අප දියුණු කරගන්නට මහන්සි ගැනීමේදී ඔබ අප සැමටම මෙවැනි භාවනා ක්‍රම ඔස්සේ සිත පිහිටුවාගෙන ඉදිරියට යන්න පුළුවන්.

බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ තරම් සිත දියුණු කළ උත්තමයෝ ලෝකයේ තවත් නැහැ. උන්වහන්සේලාගේ ජීවිත සෙලවිය නොහැකියි. ශෛලමය පර්වතයක් වගෙයි. ඉන්ද්‍රකීලයක් සේ ඒ පින්බර සිත චංචල නොවෙයි. මාර්ගඵල ලාභීන් එවැනි තත්ත්වයකට සිත සකසාගෙන අවසන්. නමුත්, අන්‍යයන්ගේ සිත සෙලවෙනවා. කම්පා වෙනවා. යටවෙනවා. මහරහතන් වහන්සේට ඕනෑම වනාන්තරයක වාසය කරන්න පුළුවන්. එසේම, වන සතුන් සමඟ වාසය කරන්නත් පුළුවන්. මේ අසිරිමත් බවට හේතුව වන්නේ මහ රහතන් වහන්සේ බණ භාවනාවෙන් රාග, ද්වේශ, මෝහ කෙලෙසුන් විනාශකර බොහොම හොඳ අවස්ථාවකට සිත මෙහෙය වූ නිසයි. මෙවැනි උත්තමයෝ සිත දියුණු තත්ත්වයකට මෙහෙය වූ නිසා මාර්ග ඵල අවස්ථාවට පත් වුණා. මාර්ගඵල අවස්ථාවට පත්වන සිත තරම් ප්‍රබල සිතක් ලොවේ තවත් නැහැ. එය එතරම්ම ප්‍රබලයි. ආනාපානසති භාවනාව දියුණු කර ගැනීමෙන් ධ්‍යාන, අභිඤ්ඤා ,විපස්සනා, මාර්ග ඵල අවස්ථාව දක්වා සිත දියුණු කරන්න පුළුවන්. මේ සියල්ලම බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළා. බෝධිසත්ත්වයන් වහන්සේ බෝධි සම්භාර පුරන විට අනාපානසති භාවනාවෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් මෙනෙහි කිරීමත්, ඒ දෙස බැලීමත් සිදු කළා. එසේම, ළමා කාලයේ ආනාපාන සතිය වඩා ධ්‍යාන ලබා තිබෙනවා. ඇදුරුතුමන් ලවා චතුර්ථ ධ්‍යාන දක්වා අරූපාවචර ධ්‍යානත් , අභිඤ්ඤා උපදවා ගැනීමත් සිදුකළා. උන් වහන්සේ එතරම්ම දක්ෂයෙක් බවට පත්වුණා. බෝධි සත්ත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන් පසුවත් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම උදෙසා මැදුම් පිළිවෙත අනුගමනය කර බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ ආනාපානසති භාවනාව නැවත මෙනෙහි කරන්න පටන් ගත්තා. තිබූ චිත්ත සමාධිය තවත් ගොඩනැඟී ධ්‍යාන අවස්ථාවට පත්ව රූපාවචර ධ්‍යාන ලබා අභිඥාව පාදක කළා. එසේම විදර්ශනාවට යොමුවී මාර්ගඵල පිළිවෙළින් ලොවුතුරා බුද්ධත්වය ලබා ගැනීමේ මහඟු භාග්‍ය උදාවුණා.

එසේනම්, බුද්ධත්වය උදෙසා ආනාපානසති භාවනාව සමර්ථ වුණා. අන්‍ය අවස්ථා ගැන කවර කථාද? එසේනම්, සැවොම ආශ්වාස ප්‍රශ්වාස දෙකෙන් ආනාපානසති භාවනාව නිබඳව මෙනෙහි කරන්න පුරුදු පුහුණු වෙන්න. ඒ දෙස සිහි නුවණින් බලාසිටින්නට පුරුදු වෙන්න.

තායිලන්තයේ අනුගමනය කරන ක්‍රමයකට අනුව ආශ්වාස, ප්‍රශ්වාස කිරීම බුද්ධෝ යනුවෙන් මෙනෙහි කරනවා. එසේ බුද්ධෝ …, බුද්ධෝ … යනුවෙන් පමණක් මෙනෙහි කිරීම වරදක් නැහැ. මේ මඟින් බුද්ධානුස්සති භාවනාවත්, සිහියත් හොඳින් එක අරමුණක තබා ගන්නවා. එතනින් අමතක වෙන්නට නොදී හුස්ම ඇතුළුවීම සහ පිටවීම බුද්ධෝ යනුවෙන් මෙනෙහි කරනවා. එය අමතක නොකර මෙනෙහි කර ගැනීම අවශ්‍යයමයි. එයත් හොඳයි. බුද්ධ දේශනාවට අනුව ආශ්වාස, ප්‍රශ්වාස දෙකෙහි සිත පිහිටුවාගෙන වාසය කරන්න මහන්සි ගත යුතුයි.

ආශ්වාස , ප්‍රශ්වාස දෙකත් අනිත්‍යයයි , දුක්ඛයි , අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න පුළුවන්. නමුත් මුල් අවස්ථාවේදී එසේ නොකරන්න. පළමුව ඇති කරගත යුත්තේ සිතේ තැන්පත්බවයි. දෙවනුව ආශ්වාස අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි. ප්‍රශ්වාස අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න. ප්‍රථමයෙන් තණ්හාව, තරහව, අඩුකර නීවරණයන් යටපත්ව ධ්‍යාන අවස්ථාවත් සමඟ දියුණුවෙන් තමන්ට සමථ ඥානය පතා ඉදිරියට භාවනාව දියුණු කරගන්න පුළුවන්. සම්මත අරමුණක් මනාකොට මෙනෙහි කර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන ඥානය හැඳින්වෙන්නේ සම්මසන විපස්සනා ඥානය ලෙසයි. මේවා සිතට ගෙන යහපතක් සලසාගෙන ගුණ දහම් දියුණුවෙන් සුවිශාල ශක්තියක් ගොඩනංවා ගන්නට තමාටම පුළුවන්කම තිබෙයි.

Advertisements