භාවනා කරමු 02

බුදු ගුණ මෙනෙහි කළොත් තණ්හා සිතකට ඉඩක් නැහැ

බුදු දහම විශ්මිත දහමක්. බොහොම කලාතුරකින් ලැබෙන දහමක්. ලෝකයේ සැමටම නොලැබෙන දහමක්. පින්වන්තයන්ට, සම්මා දිට්ඨිකයන්ට පමණක් ලැබෙන දහමක් . එසේනම්, ගිහි පැවිදි සැවොම තුනුරුවන් වෙත සමීපව, තුනුරුවන් වැඳ පුදා ගන්න. දාන, ශීල, භාවනා පින්කම්වලින් අලෝභ, අදෝශ, අමෝහ චේතනාවෝ පහළ කර ගැනීමට මහන්සි ගන්න. අලෝභ, අදෝශ, අමෝහ චේතනාවෝ සිතේ පහළවූවිට එය හැඳින්වෙන්නේ ත්‍රිහේතුක පින්කම ලෙසයි. එය සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. එබඳු සිතකින් යම් කිසිවෙක් පින්කමක් කළොත් එය බොහොම බලගතුයි.

භාවනාව යනු සිතෙන් මෙනෙහි කිරීමයි. තණ්හා සිතෙන් භාවනා කරන්න බැහැ. මෝහ, මාන්න, උඩඟු සිතෙන් භාවනා කරන්න බැහැ. මේවා පළමුව ඉවත් කළ යුතුයි. අරමුණු හොඳින් මෙනෙහි කරද්දී පවිටු සිතිවිලි ඉබේම ඉවත් වෙයි. ඉතිපි සෝ භගවා… යනුවෙන් නව අරහාදී බුදු ගුණ මෙනෙහි කිරීමේදී පවිටු චේතනාවෝ ඉබේම ඉවත් වෙයි. හේතුව කුමක්ද? මෙනෙහි කරන්නේ බුදු ගුණ? ලෝකයේ ශ්‍රේෂ්ඨ උතුමෙකුගේ ගුණයි. ඒ අප්‍රමාණ ගුණවල කිසිම අඩුපාඩුක් නැහැ. පිරිපුන් දිවියක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යංජන ලක්ෂණ, කේතුමාලාලංකාර, සවණක් ගණ බුදුරැස් මාලාවන්ගෙන් විචිත්‍රවත් වූ ශ්‍රී දේහය බැබළෙනවා. අනන්ත ගුණයන්ගෙන් ,අනන්ත ඥානයන්ගෙන් බැබළෙනවා. බුදුවරයෙකුගේ ගුණ මෙනෙහි කරද්දී තණ්හා සිතකට ඉඩක් නැහැ.

තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා නුගුණ සිතට නැඟෙන්නේ නැහැ. මේ ගැන හොඳින් හඳුනාගෙන අවබෝධයෙන් සෑමදෙනාම තමන්ගේ සිත දියුණු කර ගැනීමට උත්සාහවත් වෙන්න. අවංකකම, නිහතමානීබව, සුවච කීකරු බව හොඳින් තිබිය යුතුයි. ඒ මඟින් තමන්ට ලොකු ශක්තියක් බලයක් ගොඩනංවා ගන්න පුළුවන්. සද්පුරුෂ ධර්මයන් සිතෙහි තබාගෙන යහපත් දේ සිතිය යුතුයි. යහපත් දේ ක්‍රියාවට නැංවිය යුතුයි. යහපත් වචන කතා කළ යුතුයි. මේවා සද්පුරුෂ ධර්මයි. සද්පුරුෂ ධර්ම සිතේ දියුණු කරන පින්වතාට භාවනා පිළිවෙත් මඟ යන්න පහසුයි. කරදර පීඩා නැතිව මේ මඟ යන්න පුළුවන්. එසේ නිවන් මඟ ගමන් කරන්නාට කරදර පීඩා බාධක අපල බහුල වුවත් ඉවසීම, නුවණ නමැති ආයුධ දෙකෙන් සියලු දුක්ඛ දෝමනස්සයන් ඉවසා දරාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබෙයි.

බෝසතාණන් වහන්සේ එසේ කටයුතු කර අසම සම බුද්ධත්වයෙන් සර්වඥතා ඥානය ලැබුවා. සර්වඥතා ඥානය ලබාගත් උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් අමා දහම අන් අයටත් පෙන්වා දුන්නා. මහා කාරුණික බුදු පියාණන් වහන්සේ අසරණ ලෝක සත්ත්වයා අවිදු අඳුරෙන් මුදා ගැනීම පිණිස ඇප කැප වූවා.

මෙසේ අපරිමිත බුද්ධ කරුණාවෙන් ලෝක සත්ත්වයන්ට නිබඳවම අවවාද අනුශාසනා කළා. ධර්ම දේශනා වදාළා. භාවනා පිළිවෙත් මඟ පෙන්වා දුන්නා. සංසාර ගමන ගමන් කරන්නේ කෙසේද? එය කෙළවර කරගන්නේ කෙසේදැ’යි පහදා දුන්නා. මේ සුමධුර දහම අවබෝධකර ගත් උතුමන් ලක්ෂ, කෝටි ගණනින් ,අසංඛ්‍යය ගණනින් නිවන් සුවයෙන් සැනසුම ලැබුවා.

ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණය දෙයාකාරයම භාවනාවක්. මේ මඟින් කෙලෙස් සන්සිඳෙයි. පවිටු අදහස් නැති වී සිත සමාධි ගත වෙයි. මේ මඟින් විදසුන් නුවණට පවා සිත යොමු කරගන්න පුළුවන්. මෙසේ සැවොම තම සිතේ දියුණුව, ඉෂ්ඨ සිද්ධ කරගනිමින් ඉදිරි ගමන පිණිස වගකීමෙන් කටයුතු කළ යුතුයි.

මහා සීව ස්වාමීන් වහන්සේ රැවටීමකින් සිටියා. බොහෝ කලක් උපරිම ශක්තියෙන් බවුන් වඩා සක්මන් කළා. අවසානයේ යටිපතුල් පැළීමෙන් සක්මන් කරන්න අපහසු වුණා. මේ නිසා දෙදණින් පමණක් සක්මන් කළ ස්වාමීන් වහන්සේ තුවාල ලැබුවා. අසීරුතාව අධික වූ ස්වාමීන් වහන්සේ අඬන්න පටන් ගත්තා. අනේ! ඇතැම් උත්තමයෝ රහත් මඟ ඵල ලබලා. නමුත් මට තවම රහත් මඟ ඵල ලැබුණේ නැතැ’යි සිතමින් හඬා වැළපුණා. මේ මොහොතේ අසල ගසක වාසය කළ දිව්‍ය පුත්‍රයෙකුත් හඬා වැළපුණා. කවුද? ගසේ සිට අඬන්නේ’යි ස්වාමීන් වහන්සේ විමසුවා. මා දිව්‍ය පුත්‍රයෙක් බවත්, මඟ ඵලයක් නොලැබීමෙන් අඬන බවත් පැවසුවා. මේ දේවතාවාගේ වදන ස්වාමීන් වහන්සේට අසීමිත ශක්තියක් වුණා. මහා සීවලී පේනවා නේද? දෙවියන් ඔබ දෙස බලා සිටිනවා. එසේනම්, මා අඬන්න, වැළපෙන්න, කෑගහන්න අවශ්‍ය නැහැ. උත්සාහය මතුකරගෙන, නුවණ මතු කරගන්න. කෙලෙස් යටපත්කර ඉදිරියටම යා යුතුයි. ඔබගේ ජය සංකේතය නියතයි යනුවෙන් තමන් තමන්ටම අවවාද අනුශාසනා කළා. භාවනාව ඉදිරියටම ගෙන ගියා. සුළු මොහොතකින් මහා සීව හාමුදුරුවෝ මහ රහතන් වහන්සේ නමක් වූවා.

එසේම අපත් උත්සාහය, නුවණ සමඟින් ඉවසීමෙන් ඉදිරියටම යා යුතුයි. නුවණයි , උත්සාහයයි අතරමග කඩා වැටුණොත් කරන්න දෙයක් නැහැ. ඒ අයට මාර්ග ඵල අවස්ථා නොලැබී යනවා. මාර්ග ඵල අවස්ථාව උදා කරගන්නට නුවණ අවශ්‍යයයි. යම්කිසි දෙයක් සිතා මතා කටයුතු කිරීමට නුවණ අවශ්‍යයයි. ඉවසීමෙන් කටයුතු කරන්නා ගහන්න ආවත් ගහන්නේ නැහැ. බණින්න ආවත් බණින්නේ නැහැ.

උණුසුම් දෙයක් ඉල්ලුවොත් ලැබෙන්නේ සිසිල් දෙයක්. සිසිල් දෙයක් ඉල්ලුවොත් ලැබෙන්නේ උණුසුම් දෙයක්. උදාහරණයක් වශයෙන් උණු පැන් අවශ්‍යනම් ලැබෙන්නේ සිසිල් පැන්. සිසිල් පැන් අවශ්‍යනම් ලැබෙන්නේ උණු පැන්. මේ නිසා සීතල, උණුසුම, සා පිපාසා සියල්ලම ඉවසිය යුතුයි. මෙසේ ඉවසිලිවන්තයා මග ඵල නිවනින් සැනසුම ලබයි. නොඉවසන පුද්ගලයාට මඟ ඵල නිවනින් සැනසුම ලබන්න බැහැ.

කම්මැළි, මන්දෝත්සායී පුද්ගලයන්ට නිවනින් සැනසුම ලබන්න බැහැ. අලුයම අවධි වී භාවනා කිරීම අවශ්‍යයයි. විදසුන් නුවණ දියුණු කළ යුතුයි. ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. තමන් කළ පින්කම් නිබඳව සිහි කිරීම අවශ්‍යයයි. බාධක ආවත් නොගැටෙන්න. මන්දෝත්සායී ගති තුරන්කර අවංක භත්ත්‍යාදරයෙන් උත්සාහයෙන් වැඩකටයුතු කළ යුතුයි. මෙවැනි කරුණු මඟ ඵල නිවනින් සැනසුම ලබන්න අත්‍යවශ්‍යයයි. මේවා උපරිමව දියුණු කළ යුතුයි. මාර්ග ඵල සාධනය වනතුරා අදට වඩා හෙට, හෙටට වඩා අනිද්දා භාවනා පිළිවෙත් දියුණු කළ යුතුයි. දාන, ශීල, භාවනා පින්කම් දියුණු කරගත් පින්වතුන්ට කිසිම පීඩාවක්, දුකක්, කරදරයක්, අඩුපාඩුවක් නැහැ. ඉතා හොඳින් බුදු සසුන වැළඳගෙන සියලු කටයුතු සිදුකර ගනිමින් ඉදිරියට යන්න පුළුවන්.

කායික , මානසික සුවපත් භාවය සලසා ගන්න පුළුවන්. බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවන් කෙරෙහි අසීමිත ගෞරවයකින් වැඩ කටයුතු කළ යුතුයි. එසේ කටයුතු කිරීමෙන් ගුණාංග හොඳින් දියුණු කරන්න පුළුවන්. මෙම කරුණු කාරණා සිතෙහි තබාගෙන බුදු සසුන සුරකිමින් පාරමී ගුණ දියුණු කරගන්න. භාවනා පිළිවෙත් ක්‍රම සාර්ථකව දියුණුවෙන් බෝධිපාක්ෂික ධර්ම උපරිමව දියුණු කළ යුතුයි. සති, සමාධි, ඥාන දියුණුවෙන් පාරමිතාවෝ සම්පූර්ණ කර භාවනා පිළිවෙත් අනුගමනයෙන් පින්වත් ඔබ සැවොම මගඵල නිවනින් නිවී සැනසුම ලැබේවා!

Advertisements