භාවනා කරමු 01

සිත පිරිසුදු කරමු පිරිසුදු කරමු

“පංච නීවරණයන් සංසිඳුවාගෙන සිත දියුණු තත්ත්වයට පමුණුවන්න යම්කිසි අරමුණක් මෙනෙහි කළ යුතුයි. උදාහරණයක් වශයෙන් ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් මරණානුස්සතිය දිගටම මෙනෙහි කිරීමෙන් චිත්ත සමාධිය ලැබෙයි. “

නිවන් සුව අපේක්ෂා කරන පින්වතුන් පින් දහම් මෙන්ම භාවනා වැඩිය යුතුයි. මෙම ලිපි පෙළින් අප සඳහන් කරන්නේ භාවනා කරන පිළිවෙතයි.

භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වෙනවා. එය සමථ සහ විපස්සනා භාවනාවයි. සමථ භාවනාව යනු නීවරණ සංසිඳුවාගෙන සිත තැන්පත් කර ගැනීමයි. තණ්හාව , තරහව, කම්මැළිකම, උඩඟුකම, කුකුස යන පංචනීවරණයෝ සංසිඳුවා ගැනීම සමාධි භාවනාවෙන් සහ සමථ භාවනාවෙන් සිදු කෙරේ. එය ලෝභ, ද්වේශ, මෝහයන්ගේ සංසිඳුවීම යැ’යි සඳහන් කළොත් නිවැරැදියි. සමථ භාවනාවෙන් ඉස්මතු වී එන කෙලෙස් යටපත් කර සිත ධ්‍යාන තත්ත්වයට පමුණුවයි.

එය ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය යනුවෙන් කොටස් හතරකට බෙදෙයි. මේ මඟින් ටිකෙන් ටික සිත දියුණු කර ගැනීම සහ සමාධි අවස්ථාවට පත් කර ගැනීම සිදු කෙරේ.

ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවාලන ක්‍රමය ධ්‍යාන අවස්ථාවයි. අහසේ පාවෙනවා සේ දැනෙන ක්‍රමය ධ්‍යාන අවස්ථාවයි. එසේ පාදක කරගෙන අරූපාවචර සමාපත්ති අභිඤ්ඤාහෝ විපස්සනා මාර්ග ඵල අවස්ථාවලට ගමන් කරයි. කොයි කවුරු වුණත් තමන්ගේ සිත ටිකෙන් ටික දියුණු කර ගැනීම සඳහා මෙම ක්‍රමයන් අනුගමනය කළ යුතුයි.

පංච නීවරණයන් සංසිඳුවාගෙන සිත දියුණු තත්ත්වයට පමුණුවන්න යම්කිසි අරමුණක් මෙනෙහි කළ යුතුයි. උදාහරණයක් වශයෙන් ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් මරණානුස්සතිය දිගටම මෙනෙහි කිරීමෙන් චිත්ත සමාධිය ලැබෙයි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් දිගටම මෙනෙහි කිරීමෙන් චිත්ත සමාධිය ලැබෙයි. එය වාර දාහක් පමණ දිගින් දිගටම මෙනෙහි කළ යුතුයි.

සීවලී කුමරුවා සිවුර පොරවා ගත්තේ රහතන් වහන්සේ නමක් වීමෙන් පසුවයි. අවුරුදු අටේදී මහණ වීමට සූදානම් වූ මොහොතේ හිස කෙස් බාන පළමු අවස්ථාවේදී කෙස් වැටිය අතට දුන්නා. එය කේසා.. කේසා…, කේසා…යනුවෙන් මෙනෙහි කරද්දී සෝවාන් මාර්ග ඵල ලැබුවා. දෙවන කෙස් වැටිය අතට දෙද්දී කේසා…, කේසා…, කේසා… යනුවෙන් මෙනෙහි කර සකෘදාගාමී මඟ ඵල ලැබුවා. තෙවන කෙස් වැටියත් එසේ අතට ගෙන කේසා…, කේසා…, කේසා… යනුවෙන් මෙනෙහි කර අනාගාමී ඵල ලැබුවා. මෙසේ හිස කෙස් මුඩු ගා අවසන් වෙද්දී සීවලී හාමුදුරුවෝ සව් කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් වූවා.

කායගතා සතියෙන් රහත් වූ සංඛ්‍යාව අපමණයි. මහණ වෙද්දීම භික්ෂූන් වහන්සේට භාවනා කමටහනක් ලබා දෙනවා. භික්ෂූන් වහන්සේ කේසා , ලෝමා, නඛා, දන්තා, තචෝ යනුවෙන් මෙනෙහි කළ යුතුයි. මෙසේ දස පංචකය දිගින් දිගටම මෙනෙහි කරද්දී තමන්ටම එහි අනුසස් දැක ගන්න පුළුවන්. කේසා, ලෝමා, නඛා, දන්තා , තචෝ පංචකය සැවොම නිබඳවම මෙනෙහි කරන්න. යන එනවිටදී, බස් රියෙන් ගමන් කරද්දී , කඩයට යද්දී , ගෙදර වැඩ කරද්දී , වතුර නාද්දී , ඉහත සඳහන් පංචකය මෙනෙහි කරන්න. එය නීවරණයන් සංසිඳුවීම පිණිස හේතු වෙයි. ලෝභ. ද්වේශ, මෝහයන්ගේ සංසිඳුවීම පිණිස හේතු වෙයි.

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ ගුණ මෙනෙහි කරද්දී බලන්න. ලෝභ, ද්වේශ, මෝහ, ක්ලේෂයන් සිතට එයිද? දස ක්ලේෂ සිතට එයිද? එන්නේ නැහැ. එසේනම්, සිත ගත නිවා සනසාලනු පිණිස සිත දියුණු කිරීමේ සමාධි අවස්ථාවෙන් ඉදිරියට යන්න. අහසින් යන තත්ත්වයටම සිත දියුණු කරන්න පුළුවන්. අභිඤ්ඤාපාදක කරගෙන පුරාණ ඍෂිවරු , මහරහතන් වහන්සේලා, අභිඥාලාභී උතුමෝ අහසින් ගමන් කළේ භාවනාවෙන් සිතේ දියුණුවෙන් අභිඥාපාදකවයි. එය උත්තරීතර අවස්ථාවක්. එසේනම්, කොයි කවුරුත් තමාගේ සිත දියුණු කර ගැනීම සඳහා යම්කිසි අරමුණක් සිතට ගැනීම භාවනාවයි. භාවනාව යනු සිත දියුණු කිරීමයි. සිතේ වැඩීමයි. කෙලෙසුන් යහපත් වීමයි. භාවනා කරන්න අවශ්‍යයයි, සිතුවත් විශාල පිනක්. විනාඩියක් භාවනා කළොත් එය විශාල පිනක්. එසේනම්, ඊට වැඩි සංඛ්‍යාවකට ලැබෙන පින සීමා කරන්න බැහැ. කොයි කාට වුවත් තමන්ගේ ගුණ දියුණු කරගැනීමට විශේෂ පින්කම් පහක් බුදු දහමෙහි දැක්වෙයි. ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සජ්ඣායනා කිරීම, ධර්මය මෙනෙහි කිරීම, භාවනා කිරීම ආදී උත්තරීතර පින්කම් පහ විමුක්තිදායක පින්කම් වශයෙන් හැඳීන්වෙයි. මේවා ඍජුවම නිවනට පමුණුවන ක්‍රම පහක්. මේ මඟින් සිදුවන්නේ කෙලෙසුන්ගේ සංසිඳීමයි. චිත්ත සමාධියයි. නුවණ දියුණු වීමයි. මේ ක්‍රම අනුගමනය කිරීම බුද්ධ ශාසනයේ ඔබ අප කවුරුත් කළ යුතුයි. කායික සුවය, මානසික සුවය සිතාගෙන පාරමී ගුණ දියුණු වේවා යන අදහසින් අප පුළුවන් තරම් භාවනා පිළිවෙත් මඟින් සිත දියුණු කළ යුතුයි. කෙනෙක් මිය ගියවිට, දෙයක් විනාශ වූවිට, ඇඬීම – වැළපීම ස්වභාවිකයි. සිතේ දියුණුවෙන් එය බොහෝ දුරට අඩුකර ගන්න පුළුවන්. බුදු දහමට අනුව බණ ඇසීමෙන්, භාවනා ක්‍රම දියුණු කළ යුතුයි. එසේ දියුණු කරගත් පින්වතුන්ට බලවත් ශක්තියක් ගොඩනංවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ දහම දේශනා කළේ ශාසනයේ අපමණ දියුණුව පිණිසයි. එය එක් අයකුට, දෙදෙනකුට සීමා වූයේ නැහැ. සූවිසි අසංඛ්‍යෙයක් පිරිස මේ ශාසනයේ පිහිටෙන් නිවන් සුව ලැබුවා. සුළු සංඛ්‍යාවක්ද බලන්න? මේ සැවොම දන් දුන්නා. සිල් රැක්කා, බණ භාවනා මඟින් නීවරණ පහ යටපත් කර එය සම්පූර්ණයෙන් නිදහස් කරන්නට යෙදුණා. මේ නිසා මාර්ගඵල අවස්ථාවට පත්වුණා.

රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ ආදී පංච කාමයන් පිළිබඳ ඇති වන්නාවූ තෘෂ්ණාව කාම ආශාවයි. මනුලොවට, දෙව්ලොවට, බඹලොවට හෝ තමන් සිටින තැනට තිබෙන ආශාව භවාශ්‍රවයයි. විවිධාකාර මිසදිටුකම් දිට්ඨාශ්‍රවයයි. මෝඩකම්, අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම අවිද්‍යාශ්‍රවයයි. මෙසේ සතර වැදෑරුම් ආශ්‍රවයෝ සන්සිඳුවා ගත්විට ඒ සිත හඳුන්වන්නේ අනාශ්‍රව අවස්ථාවයි. රහතන් වහන්සේ ඍජුවම අනාශ්‍රව ලෙස හඳුන්වනවා. එය වෙනස් වන්නේම නැහැ. අන්‍යයන් පිනක් දහමක් කරද්දී කාමාශ්‍රව , දිට්ඨ ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවය, පහව ගියානම් ඒ සිතට අනාශ්‍රවයි. නැවත අපි ක්ලේෂ ගැන සඳහන් කරමු. අනාශ්‍රව භවයෙන් ඉවත් වුණා. ආශ්‍රව බවට පත් වුණා . පල්වීම, නරක්වීම, දුගඳ හැමීම අර්ථය ආශ්‍රවයි. එය සම්පූර්ණයෙන් නැති කිරීම අනාශ්‍රවයි. ඒ නිසා බුදු දහම අනාශ්‍රව ධර්ම ඇති කරන දහමක්. කෙලෙස් වඩන, සසර දිග්කරන , අපායට ඇද දමන දහමක් නොවෙයි. අපායෙන් අත්මුදන , දෙව්ලොවට, බඹ ලොවට පමුණුවන, දිව්‍ය මාර්ග සම්පත් ඉක්මවායන නිවනට පමුණුවන සුවිශේෂී දහමක්. තථාගත ධර්මයෙන් මෙසේ කියනු ලබන ආශ්‍රවයන්ගේ සංසිඳුවීම පැහැදිලි වන්නේ සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී මාර්ග ඥානය , අනාගාමී මාර්ග ඥානය , අර්හත් මාර්ග ඥානය වූ අවස්ථා හතරයි. විවිධාකාර ක්‍රම අනුව බෝධි පාක්ෂික ධර්මතා තිස් අටක් තිබෙයි. මේවා සත්තිස් බෝධි පාක්ෂික ධර්මයි. බෝධි පාක්ෂික ධර්ම දියුණු කරගැනීමට අමුතුවෙන් වෙහෙසෙන්න දෙයක් නැහැ. සිත හොඳනම් පහළ වෙනවා. සිතේ තිබෙන තරහ, ක්‍රෝධ, මාන නැත්නම් ඒ සිත ප්‍රභාෂ්වරයි . පින්කමක සිත පිහිටුවොත් බෝධිපාක්ෂික ධර්ම තිස්හතම ලැබෙනවා. භාවනා කරන මොහොතේ චිත්ත වීතියක් ගණනේ බෝධි පාක්ෂික ධර්ම තිස්හතම පහළ වෙනවා. අභිධර්ම පිටකයේ පෙන්වාදෙන පරොපර්යාස ධර්ම හැත්තෑපහක්, චිත්ත සමාධිය පමුණුවන ධර්ම හැටපහක් වශයෙන් ධර්මයෝ එක සිතක පහළ වෙද්දී කොපමණ සිත කලබල වෙන්න ඕනද? කුසල් සිතක ධර්ම හැටපහක් පහළ වෙනවානම් ඒ හැටපහ බොහොම ප්‍රභාෂ්වරයි. පුණ්‍ය කර්මය බලවත් . ඒ පිනෙන් සිත බලවත් වී සිතේ ශක්තිය වැඩෙනවා.

Advertisements