පසුගාමී නොවෙමු

කරණීයමෙත්ත සූත්‍රයෙන් :

පසුගාමී නොවෙමු

කරණීය මෙත් සුතුර බෞද්ධ අපට බොහෝ සමීප ය. අසා , කියවා, වන පොත් නොකළ බෞද්ධයෙක් නැති තරම්ය. එහෙත් බොහෝ දෙනාගේ වැටහීම වැරදිය. විපතකදී, දුකකදී, කරදරයකදී, බියකදී, සජ්ඣායනය කිරීමෙන් මානසික සුවයද, පිහිටාරක්ෂාවද සැලසෙන බව පමණක් ඔවුහු සිතති. කරණීය මෙත්ත සූත්‍රය යනු එසේ සිතමින් උදේ සවස කටපාඩමින් කියවිය යුතු සූත්‍ර දේශනාවක් පමණක් නොවේ. සරලව කියනවා නම් මන්තරයක් මතුරන්නා සේ කියවාගෙන යන ජපමාලයක් නොවේ. එවන් සංකල්පනාවන්ට එහා ගිය වෙසෙස් වටිනාකමක් එහි අන්තර්ගතය. එම ධර්ම කරුණු ජීවිතයට සමීප කර ගැනීමෙන්, පුරුදු පුහුණු කිරීමෙන් මේ ජීවිතය දිනිය හැකිය. පරලොවද දිනුවා වන්නේය. නිවනට මග පෙන්වන්නේ ය.

කරණීය මෙත්ත සූත්‍රයේ අවධාරණය කැරෙන පළමු ගුණය, සක්කෝ” ගුණයයි. ‘සක්කෝ’ නම් හැකියාවයි. ‘මට හැකියි’ යන අරමුණයි. ඒ අරමුණ මල්ඵල ගන්වන්ට ක්‍රියාත්මක වීමයි. බුදුදහමේ කොතැනක හෝ හැකියාව මිස නොහැකියාව ඉස්මතු කරන්නේ නැත. සැමවිටම ඉඩ දී තිබෙන්නේ හැකියාවටය. බෝසතාණන් වහන්සේට මතු බුදු බව ලබන්නට අවස්ථාව උදාවුණේ පෙරුම් දම් පුරමින් භවයෙන් භවය වැඩි දියුණු කළ හැකියාව නිසාය. සක්කෝ ගුණය නිසාය. හැකියාව වර්ධනය නොකළානම් උන්වහන්සේට තවමත් බුදු බව ලබන්නට අවස්ථාවක් නොලැබෙනු ඇත.

සම්බුදු පදවිය ලද අවසන් භවයේ ද සය අවුරුද්දක් පුරා දුෂ්කර ක්‍රියා කරමින්, කුස ගිනි දරා ගනිමින්, විටෙක සිහි මූර්ජා වෙමින් වීර්ය වැඩුවේ බුදු පදවි ලබන්නට හැකියාව වැඩිදියුණු කර ගන්නටය. මට බැහැ. දැන් අමාරුයි. අසනීප වැඩියි. සිහි කල්පනාවට එන්නේ නෑ, බුද්ධියක්, දැනුමක් නෑ යන පසුගාමී සිතිවිලිවලට බුදුදහමේ ඉඩක් නොවේ.

‘මට පුළුවන්. උත්සාහ කළේ නම් කරන්නට බැරි දෙයක්නෑ. යන ආකල්පයම ඇගයේ. ශක්‍යතා දියුණු කර ගන්නට අපූර්ව මාවතක් බුදුදහමේ කියාදේ. දැඩිව වීර්ය වඩන්නට, නොනැවතී ඉදිරියට යන්නට මඟ පෙන්වා දේ. ලෞකික ජීවිතයේ දියුණුවටද ලෝකෝත්තර සුවයට ද උපදෙස් ලබා දේ.

එදා බුද්ධකාලීන භාරතීය සමාජයේ ඇතැම් ආගමික කණ්ඩායම් සියල්ල කර්මයට බාර කළහ. කර්මයට අනුව ලැබෙන දේ බාර ගත්හ. යම් යම් ලාභාපේක්ෂාවෙන් ගරු බුහුමන් අපේක්ෂාවෙන් මිනිසුන්ගේ ‘සක්කෝ’ ගුණයට වැට බැඳ තිබූහ. එය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඕනෑම පුද්ගලයකු වෙත යම් හැකියාවක් තිබෙන බවය. එය වැඩි දියුණු කළ යුතු බවය.

මේ ලොව උපන් අඳ, ගොළු, බිහිරි, ආබාධිතයකු වෙත වුව සුවිශේෂී හැකියාවක් වේ. වරද ඒ හැකියාවන් සැඟවී තිබීමය. හඳුනා ගන්නට උත්සාහ නොකිරීමය.

බුද්ධිය තිබෙනවා නම්, කල්පනා කිරීමේ ශක්තිය තිබෙනවා නම් පැහැදිලි ඉලක්කයක් වෙත ගමන් කිරීම අපහසු නොවන්නේය. වාසනාව ඉල්ලා නොපෙනෙන බලවේගවල පිහිට යදින්නටද සිදු නොවන්නේය.

ඉගෙන ගන්නට පොතක් පැන්සලයක් නැතිව, ගතට නිසි වස්ත්‍රයක් නොමැතිව කුස පිරෙන්නට ආහාරයක් නැතිව දවසට වේලකින් සෑහී උත්සාහයෙන් උගෙන ජීවිතය ජය ගත් අය අපේ සමාජයේ මොන තරම් සිටිනවාද? ගිනි ගහන අව් කාෂ්ඨකයේ මහපොළොව සමඟ පොර බදිමින් දහදිය වගුරවමින් කළ කැප කිරීමෙන් දියුණුව ලද්දෝ මොන තරම්ද? අනුන්ගේ දේ වංචාවෙන් කඩා වඩා නොගෙන, ධාර්මිකව උපයාගත් ධනයෙන් සැනසෙන්නෝ කොතෙක් වේද? එවන් උදාර මිනිසුන් අතරම අධර්මයෙන් සැප ලබන්නෝද වෙති. සුළු උත්සාහයකින් විසල් ඵල අපේක්ෂා කරන්නෝද වෙති. නොලැබෙන තැන අනුන්ගේ දේ වංචාවෙන් කඩා වඩා ගන්නට සැරසෙන්නෝද අපමණය. ආත්මාර්ථකාමී හැගීමෙන් අනුන්ගේ යසස, කීර්තියට, දියුණුවට එරෙහි වන්නෝද වෙති. එකම සමාජයක පිරිස් මෙලෙස දෙමඟක ගමන් කරන්නේ ඇයි? තමන්ගේ හැකියාවන් හඳුනා නොගැනීම නිසාය. කෙලෙස සැනසුම සොයා ගියද මෙලොවත්, පරලොවත් දිනන්නෝ උට්ඨාන වීර්යයයෙන් බාහු බලයෙන් දෑතේ මහන්සියෙන්, දහදිය හෙළමින්, ධාර්මිකව ලද ධනයෙන් සැනසෙන්නෝම බව බුදුදහමේ අවධාරිතය.

කෙනෙක් දන් දීමට සිත් පහළ නොවන බව කියති. සිල් සමාදන් වන්නට වේලාව නැති බව කියති. භාවනාවට එකඟ සිත් නොවන බව කියති. එසේ සිතමින් කුසල් නොවඩති. දන් දෙන්නට ඇයි මට බැරි’ සිල් ගන්නට ඇයි මට බැරි’ ‘භාවනා කරන්නට ඇයි මට බැරි’ මට හැකියාව තිබෙනවා. මම කෙසේ හෝ මගේ අරමුණට යනවා’යි සිතනවා නම්, අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා නම් වීර්ය වඩනවා නම්, දැඩිව වීර්ය වඩනවා නම් ඔබට ශක්‍යතාවන් වැඩිදියුණු කර ගැනීමට අපහසු වන්නේ නැත. අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් කැපවීමය. එවිට මෙලොව ජීවිතයේද පරලොව ජීවිතයේද දියුණුව ළඟා කරගැන්ම අපහසු නොවන්නේය.

Advertisements