දන්නා දෙයින් නොදන්නා තැනට

දන්නා දෙයින් නොදන්නා තැනට…

බුදුරජාණන් වහන්සේ වනාහි සහශ්‍ර සංඛ්‍යාත වූ ගිහි පැවිදි ශිෂ්‍ය සමූහයකට ජීවිතය, ලෝකය හා සමාජය පිළිබඳ විශිෂ්ටතම ඥාන සම්භාරයක් දායාද කොට දෙමින් නිසි නිවැරැදි උසස් චර්යාව වෙත ඔවුන් යොමු කොට වදාළ අසමසම අද්විතීය ආචාර්යවරයෙකි.

විශිෂ්ටතම ඥානයෙන් හෙවත් විද්‍යාවෙන් ද විශිෂ්ටතම ප්‍රතිපදාවෙන් හෙවත් චර්ණයෙන්ද සම්පූර්ණත්වයට පත් ආචාර්යවරයෙකු වූ උන්වහන්සේ සිය ශිෂ්‍ය ප්‍රජාව ද එලෙසම සම්පූර්ණත්වයට පත් කරවනු පිණිස අනූපමේය වූ කැප වීමකින් යුතුව ඔවුනට අවශ්‍ය මඟ පෙන්වූහ. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ වූ කලී සත්‍ය අවබෝධ කළ සේක් සෙස්සනටද එය අවබෝධ කරවනු පිණිස දහම් දෙසති. වටහාගත් දහමින් හික්මීම ලද උන්වහන්සේ සෙස්සනටද එකී හික්මීම උදා කරලනු පිණිස දහම් දෙසති. උසස් හික්මීමෙන් ශාන්ත බවට පත් උන්වහන්සේ සෙසු ප්‍රජාව ද ශාන්ත බවට පත් කරවනු පිණිස දහම් දෙසති. සියලු කෙලෙස් මලින් බැහැර කරවනු පිණිස දහම් දෙසති. ආචාර්යවරයකු වශයෙන් පිරිපුන් බවට පත් උන්වහන්සේ සිදු කොට වදාළ අධ්‍යාපන මෙහෙවරෙහි ස්වභාවය මෙයින් පෙනෙයි. වරෙක බුදුරදුන් වෙත පැමිණි මාරයා දැන් ඔබට පිරිනිවන් පාන්නට සුදුසු කාලය යැයි සැලකළ විට උන්වහන්සේ දුන් පිළිතුර ද මෙහි දී සිහිපත් කරනු වටියි.

‘මාරය, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස ම නියම ශ්‍රාවක භාවය ලබන තුරු, නුවණැත්තවුන් වන තුරු, මනා සේ පුහුණුව ලබා බහුශ්‍රැත වන තුරු, ධර්මය මැනවින් උගෙන ධර්මානුකූල ව කටයුතු කරන තුරු, පිළිවෙත් රකින තුරු, ධර්මය හොඳින් ප්‍රගුණ කොට අන්‍යයන්ට ප්‍රගුණ කරවීමට හැකිවන තුරු….. මම පිරිනිවන් නො පාන්නෙමි.’

මෙසේ අසමසම ආචාර්යවරයෙකු වූ උන්වහන්සේ ස්වකීය කාර්යභාරය ඉටු කරලීමෙහි ලා ඉතා සාර්ථක වූත් විද්‍යාත්මක වූ සුවිශේෂ උපාය මාර්ග රාශියක් භාවිත කළ බව පෙළ දහම විමැසීමෙන් පෙනෙයි.

දික් සඟි අටුවාව අනුව බුද්ධ දේශනාව වූ කලී සිවු ආකාර වන්නේ ය.

1. මෙම අවස්ථාවට මෙම පිරිස සඳහා මෙබඳු දේශනාවක් පැවැත්වීමට සුදුසු යැයි තමන් වහන්සේ ගේ අදහසට අනුව දෙසිම.

2. ශ්‍රාවක ජනයාගේ අදහස විමසා එයට අනුව ඔවුන් අපේක්ෂා කරන පරිදි දහම් දෙසීම.

3. අසන ලද ප්‍රශ්නයට හෝ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් දහම් දෙසීම.

4. ශ්‍රාවක ජනයා අතර උපන් යම් කරුණක් පැහැදිලි කරදීම වශයෙන් එම අර්ථය අනුව දහම් දෙසීම.

මෙකී දේශනා ක්‍රම සතර හෙවත් ඉගැන්වීම් විධි සතර හඳුන්වා දෙන අටුවාචාරීහු එකිනෙකට සූත්‍රපිටකාගත නිදසුන් ද සපයති. මෙයින් පැහැදිලි වන්නේ අවස්ථාවෝචිත වූ පාඩමක් ඉගැන්වීම බුදුරදුන්ගේ සිරිත වූ බව ය.

බුදුරජාණන් වහන්සේ නිබඳ ව ම ස්වකීය ශිෂ්‍ය ශ්‍රාවකයන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීම මංගල කරුණකැයි ද වදාළහ. සූත්‍ර පිටකය එබඳු සාකච්ඡාවන්ගෙන් පිරී තිබේ. ස්වකීය පැවිදි ශ්‍රාවකයන් සමඟ උන්වහන්සේ පැවැත් වූ ධර්ම සාකච්ඡාවන් බොහෝ දෙනාට උසස් ප්‍රතිඵල උදා කළ බව පෙනෙයි. මැදුම් සඟියේ චූලගෝසිංහ සූත්‍රයෙහි දක්නා ලැබෙනුයේ ඉතා සුහද ව හා කාරුණික ව ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් තිදෙනෙකු සමග චූලගෝසිංහ වනයෙහි දී පැවැත් වූ එබඳු ධර්ම සාකච්ඡාවෙකි. අනඳ හිමියන් සමඟ බුදුරදුන් පැවැත් වූ ගැඹුරු ධර්ම සාකච්ඡාවක් දික්සඟියේ මහානිදාන සූත්‍රයෙහි හමු වෙයි. මේ වූ කලී සාකච්ඡා පැවැත්වීමෙන් කරුණු පහදා දීම පිළිබඳ නිදසුන් කිහිපයක් පමණි.

බුදුරජාණන් වහන්සේ විසින් තමන් වෙත පැමිණි විවිධ ගිහි පැවිදි ප්‍රශ්න විචාරකයන් අරබයා අනුගමනය කළ චතුර්විධ ප්‍රශ්න ව්‍යාකරණ නම් වූ විසඳීම් පිළිවෙතක් වූයේ ය.

1. යම් ප්‍රශ්නයකට ඒකං සික වූ පිළිතුරක් සැපයීම හෙවත් එක් ආකාරයකින් පමණක් එය විසඳා දීම.

2. වඩාත් සවිස්තර ලෙස යම් ප්‍රශ්නයක් විධිමත් අන්දමින් බෙදා විග්‍රහ කොට දෙන පිළිතුරින් එය විසඳීම.

3. ප්‍රශ්න අසන්නාගෙන් ප්‍රති ප්‍රශ්න අසමින් අවශ්‍ය කරුණු ඉස්මතු කරමින් දෙන පිළිතුරින් ප්‍රශ්නය විසඳීම.

4. යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම සත්‍යාවබෝධයට අදාළ නොවේ නම් එම ප්‍රශ්නය අර්ථ ශූන්‍ය සේ සලකා බැහැර කිරීම.

සූත්‍රාන්තයන්හි මැ හමු වන මෙම චතුර්විධ ප්‍රශ්න ව්‍යාකරණය බුදුරදුන්ගේ විශිෂ්ටතම ඉගැන්වීම් ක්‍රමයෙකි.

යම් ගැඹුරු කරුණක් වඩාත් සිත් ගන්නා පරිදි රසවත් ව ඉගැන්වීම පිණිස වෘත්තාන්ත ශෛලීය යොදා ගැනීම බුදුරදුන්ගේ සුවිශේෂ පිළිවෙතක් වූයේ ය. ගීතිකා මඟින් දහම් දෙසීම පිළිබඳ ප්‍රකටතම නිදසුන ධම්මපදයයි. ඉතා පැරැණි අවදියෙහි ම බුද්ධ වචනය නවාංග ශාස්තෘ සාසන නමින් අංග නමයකට බෙදා ඇති බව ද එහි ගාථා දේශනා එක් අංගයක් වූ බවද මෙහිලා සිහිපත් කළ යුතු ය. රස, හර පිරි ගීතිකාවෝ ශ්‍රාවක සිසුනට පහසුවෙන්ම ඉගැන්වීමට හැකි මඟකි. ධම්මපදය, ථෙර ථෙරී ගාථා, ජාතක පාලි, බුද්ධවංසාදිය මුලුමනින්ම ගාථාවලින් යුක්ත වේ.

බුද්ධ දේශනාව ඉතා රසවත් වූ ද හරවත් වූ ස්ථානෝචිත වූ ද උපමාවලින් හා කතාවලින් පිරී තිබේ. ධම්මපදයෙහි පමණක් එබඳු උපමා රාශියකි. සල්ලෝපමාව, අන්ධවෙණුපමාව, ජච්ඡන්ධෝපමාව, ධම්මිකෝපමාව, මහාසාරෝපමාව, අලගද්දුපමාව ආදිය රස හර පිරි අපූරු උපමා කතාවනට නිදසුන් වෙයි. මිනිස් අත්දැකීම් මුසු කොට ගත්තා වූ ද විවිධ දහම් කරුණු මැනැවින් පැහැදිලි කරන්නා වූද මෙබඳු උපමා ආධාර කොට ගෙන ඉගැන්වීම හේතුවෙන් ශ්‍රාවක ශිෂ්‍යයන්ගේ සිත් ප්‍රබෝධමත් කරලීමට බුදුරජාණන් වහන්සේ සැබැවින්ම සමත් වූහ.

ඇතැම් ශිෂ්‍යයෝ සෘජු ඉගැන්වීමෙන් උගනිති. එහෙත් සමහරුනට වඩාත් සුදුසු වන්නේ වක්‍ර ඉගැන්වීමයි. ඒ බව මැනවින් දැන සිටි ගුරුවරයකු වූ බුදුරජාණන් වහන්සේ රූප මානයෙන් මත්ව සිටි රූපනන්දාවට ජීවිතයේ යථාර්ථය උගන්වනු පිණිස අනුක්‍රමයෙන් මහලු විය තෙක් ගමන් කරන ස්ත්‍රී රූපයක් මවා පෙන්වූහ.

යම් කරුණක් ශ්‍රාවක ශිෂ්‍යයාට මැනැවින් පහදා දෙනු පිණිස උචිත ආධාරකයන් යොදා ගැනීම ද විටෙක බුදුරදුන් අනුගමනය කළ සාර්ථක ක්‍රමයෙකි. දැන දැන බොරු කීමෙහි ලජ්ජා නැති පැවිද්දාගේ පැවිද්ද කෙබඳු දැයි දක්වනු පිණිස උන්වහන්සේ දිය බඳුනක් ආධාර කොට ගෙන කුඩා රාහුල හිමියනට දහම් දෙසූහ.

බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශිෂ්‍ය ශ්‍රාවකයනට ඉගැන්වීම සඳහා දම් සභා මණ්ඩපය (පන්ති කාමරය) නිරතුරු උපයෝගී කොට නොගන්නා ලදී. උන්වහන්සේ බොහෝ විට එළිමහන් පන්ති පැවැත්වූහ. ඉසිපතන මිගදාය, කොසඹෑනුවර ඇට්ටේරිය වනය වැනි ස්ථාන මීට නිදසුන් ය. රමණීය වන උයන් උන්වහන්සේගේ දේශනා ස්ථාන වූයේ ය. එවන් අවස්ථාවලදී අවට පරිසරයෙහි සිදු වන හා පවතින දේ ඇසුරු කොට නිදසුන් දක්වන ලද්දේ ය. ශිෂ්‍යයිනට වඩාත් හුරු පුරුදු ඔවුන් සිත් ගත් පරිසරයම දහම් කරුණු ඉගැන්වීමට යොදා ගන්නා ලදී. කසීභාරද්වාජ ගොවි බමුණෙකි. ඔහුට කෙත ද ගොවිතැන ද නිදසුන් කොට දහම් දෙසන ලදී.

සාකච්ඡා කිරීම, උපමා භාවිතය, පරිසරය හා ආධාරක භාවිතා කිරීම ආදී උපාය මාර්ගයන්හි දී මෙන්ම වෙනත් අවස්ථාවලදී ද ශිෂ්‍යයා දන්නා දෙයින් ඔහු නොදන්නා තැනට ගෙන ගොස් කරුණු අවබෝධ කරවීම බුදුරජාණන් වහන්සේ බොහෝ විට අනුගමනය කළ ඉගැන්වීම් ක්‍රමයකි.

ධර්මය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් තිබූ දක්ෂ ශිෂ්‍යයන් ඉදිරියට ගනිමින් ඔවුන් මගින් සෙසු ශ්‍රාවක ශිෂ්‍යයන්ට දේශනාවන්ට සවන් දීමටත්, සාකච්ඡා පැවැත්වීමටත්, අවස්ථාව සැලසූ තැන් රාශියක් ද සූත්‍ර පිටකයෙහි දක්නා ලැබෙයි. මැදුම් සඟියේ සම්මාදිට්ඨි සූත්‍රය එවන් භාෂිතයෙකි.

ස්වකීය ශිෂ්‍ය ශ්‍රාවකයන්ගේ සිත් සතන් තේරුම් ගනිමින්, ඔවුන්ගේ චරිත ස්වභාවයට අනුරූප වන පරිදිත්, ඇතැම් විට ඔවුන් පත්ව සිටි තත්ත්වයට අතිශයින් මැ උචිත වන පරිදිත් ඉගැන්වීමෙහි නිරත වූ බුදුරජාණන් වහන්සේ, පුද්ගලයන් අතර වෙනසද ඔවුන්ගේ විවිධ වූ විෂම වූ ගති ගුණ අභිරුචිය, රසිකත්වය, ආකල්ප ආදිය ද මැනැවින් වටහා ගෙන ඒ අනුව කරුණු ගෙනහැර දැක්වූහ. මෙකී අනේකාකාර වූ ශිල්පීය උපාය මාර්ග ඔස්සේ ජීවිතය හා ලෝකය පිළිබඳ යථාභූත ඥානදර්ශනය බුදුරදුන් වෙතින් උදා කර ගත් ශිෂ්‍යයෝ ද මහත් සතුටට පත්වූහ. අතිශයින් තෘප්තිමත් වූහ. සාධුකාර දුන්හ. ප්‍රශංසා කළහ. මැනවි, මැනවි ස්වාමිනි, යටිකුරු කරන ලද්ද උඩුකුරු කළා සේ, වසන ලද්ද විවර කළා සේ, මංමුලා වූවකුට මඟ හෙළි කළා සේ, ඇස් ඇත්තෝ රූප දකිත්වා යි, අඳුරට ආලෝකය දුන්නා සේ අනේක පරියායෙන් ඔබ වහන්සේ අපට දහම් දෙසූහ’යි බොහෝ ශිෂ්‍යයෝ අසීමිත තෘප්තියෙන් පැවසූහ. ‘ස්වාමීනි, මම මෙතැන් පටන් ගම් නගර වෙත යමින් තෙරුවන් ගුණ මැ ගයමි’ යි පැවසුහ.

Advertisements