නව ලොවට දහම

නව ලොවට සරිලන නිර්මල දහම

ලෝකයේ වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයෙහි සිටින බව පසුගිය දා ප්‍රකාශ කෙරුණු සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී තිබේ. ඇමරිකාවේ වොෂින්ටන් නගරය මූලස්ථාන කරගත් ගැලප් පර්යේෂණ කණ්ඩායම (Galap International)  විසින් 2008, 2009 සහ 2015 යන වසරවල රටවල් හැටපහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගත් ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේ සමීක්ෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට අනූවක් ම (90%) ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළි වී ඇති බව ය.

ලෝක ජනතාවගේ ප්‍රසාදජනක හා ගෞරවනීය අවධානයට යොමුවන ඉහත සඳහන් කාරණය හෙළිදරවු වන්නේ ශ්‍රී ලංකාවට වැදගත් තවත් ඓතිහාසික සන්ධිස්ථානයකදී ය. එනම් 2561 වෙසක් පුණේ‍යීත්සවය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව මුල් කරගෙන පැවැත්වීමට සූදානම් වෙමින් පවත්නා අවස්ථාවක් වීම ය.

ලෝකයේ වැඩිම ආගමික නැඹුරුව පවත්නා රට වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගනු ලැබීමේදී එහි ගෞරවයේ වැඩිම ප්‍රතිශතය හිමිවන්නේ ශ්‍රද්ධාකාමි බෞද්ධ පින්වත් පිරිසට ය යන්න විවාදාපන්න වූවක් නොවේ. ඒ අනුව සිංහල බෞද්ධ ජනතාවගේ සත් සිරිත් හා සැදැහැති ජීවන ප්‍රතිපදාවන් අනිකුත් සමගාමී ආගමික ජනතාවට ද සුබවාදි බලපෑමක් ඇතිකර ඇති බව පැහැදිලිව පෙනීයන කරුණකි. එනිසා ම, එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ද සහිතව 2561 ජාත්‍යන්තර වෙසක් උත්සවය අප රටේ පැවැත්වීමෙන් අපේක්‍ෂිත අරමුණ කුමක් විය යුතු ද යන්නත් එවන් වැඩසටහනක් මගින් අප රටටත් බුදු දහමටත් සිදුවන යහපත කුමක් ද යන්නත් සලකා බැලීම වැදගත් ය. එය තවත් අසිරිමත් උත්සවයක් හෝ සැණකෙළියක් ලෙසින් අවසන් කිරීම ද? නොඑසේනම් ලෝකයට හුවා දක්වන ප්‍රදර්ශන ස්වරූපයේ ජනහමුවක් හෝ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, සාකච්ඡා සභා ස්වරූපයේ මිතුරු හමුවක් වැනි ප්‍රිය සන්ථවයක් සිදුකර කටයුතු හමාර කිරීමක් ද? අප විසින් කළ යුත්තේ ජාතියක් හා රටක් වශයෙන් ජන සමාජය මේ දක්වා උරුමකරගෙන ආ අති උතුම් බෞද්ධ ධර්‍මයේ සාර සංකල්පය ජාත්‍යන්තරයට අවබෝධ කරවීම සඳහා මේ වැදගත් අවස්ථාව යොදා ගැනීමයි. තම ආගම පමණක් පවත්වාගෙන යාමේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් දයා විරහිත ලෙස අනිත් ආගම් විනාශ කරලීමට හෝ අනිත් ආගමිකයන් තම ආගමට විවිධ බලපෑම් මගින් හැරවීමට හෝ ක්‍රියා නොකරමින් බෞද්ධයන් විසින් දක්වන ලද යථාර්ථවාදී ආගමික සහජීවන ප්‍රතිපදාවේ අගය ලෝකයට කියාදීමට ය. ආගමේ නාමයෙන් නිකායවාදී ලෙස හෝ ගෝත්‍රවාදි ලෙස තවත් ජන කොටසක් පීඩනයට පත් නොකර තම ආගමිකයන් මෙන්ම අනිත් සියලුම දෙනාටමත් සම මෛත්‍රී කරුණාවෙන් යුතුව සමානාත්මතාවයෙන් සැලකීමේ ශ්‍රී ලාංකික පිළිවෙත ගැන ලෝකයා දැනුවත් කිරීම සඳහා ය.

මේ කරුණු කාරණාවන්ගේ වැදගත් බව හා කාලින බව මනාව වැටහෙන්නේ “අද ලෝකයට වුවමනා කුමක් ද?” යන ප්‍රශ්නය ගැන අවධානය යොමු කිරීම මඟිනි.

“ඇත්ත වශයෙන්ම මේ මොහොතේ ඔබට අත්‍යවශ්‍ය දේ කුමක් ද?” යන ප්‍රශ්නය ලෝක ප්‍රජාවගෙන් අසා සිටියහොත් ඔවුන් බහුතරය හඬනගා පවසනු ඇත්තේ “අනේ අපට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න – අනේ අපට සාමය ලබා දෙන්න” යන්නයි.

මේ ආයාචනයේ බරපතලකම කෙතෙක්ද යන්න දෛනික මාධ්‍ය තොරතුරු මගින් අවබෝධ කරගත හැකිවනු ඇත. මැදපෙරදිග පමණක් නොව යුරෝපයද ඇතුළු රට රාජ්‍ය සිය ගණනකම ජනතාව අද මේ මොහොතේ පවා ජීවත් වන්නේ මර බිය වැළඳගෙන ය. මැරකම්, දාමරික කම්, යුද්ධ, කලකෝලහාල ආදිය නිසා මිනිස් ජීවිත දිනපතාම දහස් ගණනින් විනාශ වෙමින් පවතී. ඒ අතර ඇතැම් රටවල මිනිසුන් දිවි පරදුවට තබා මහ මුහුදේ යාත්‍රා කරමින් සාමකාමී රටවලට සංක්‍රමණය වන්නට ගන්නා උත්සාහ වලදී ජීවිත නැතිකර ගන්නා ආකාරය ද ඛේද ජනක ය.

මේ මහා මිනිස් ඝාතන හා ලේ වැගිරවීම්වල මූලික සාධකය කුමක් ද යන්න විමසන විට ලැබෙන අවසාන පිළිතුර නම් සතුට දනවන්නක් නොවේ. එයට හේතුව “ආගම” යන්න පිළිතුර වී තිබීම යි. සාමය හා සමාදානය දියයුතු ආගම මගින් මිනිසාට ලැබී ඇත්තේ භීෂණය හා මරණය නම්, ඒ වනාහි මනුෂ්‍ය සංහතියේ ම අවාසනාව මිස වෙනකක් නොවේ. “වඳීන්න ගිය දේවාලය හිස මතට කඩා වැටීම” යනුවෙන් විවරණය වන්නේ ද එම කරුණම ය. “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” යනුවෙන් ප්‍රකට ජන වහරක් අප අතර පවතී. නමුත් අද පවත්නා තත්ත්වය විග්‍රහ කිරීමේදී ඒ ජන වහර මෙසේ වෙනස් විය යුතු ය. “වැටත්, නියරත්, පසුත්, ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව. ”

අනුගාමික ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයට ම සතුට සැනසීම හා සාමය මෙන් ම පරලොව සුගතිය ද දීමට ප්‍රතිඥාකර සිටින ආගම මගින් ඒ සියලු මානව සම්පත් විනාශ කරන පරිසරයක් යටතේ මිනිසාට කවර නම් පිළිසරණක් කවරනම් තැනකින් පැතිය හැකි ද?

සත්‍ය වශයෙන් ම අප හැමදෙනාම අද දවසේ දකිනා තිත්ත වූ ඇත්ත එය යි. ආගම යන්නට විවිධාකාර ආත්මාර්ථයන් පෙරදැරිව අර්ථ සපයන උම්මත්තකයන් නිසා සමස්ත ලෝකයම භීතියෙන් ඇලලී ගොසිනි. උගන්ඩාවේ අහිංසක පාසල් සිසුවියන් දෙසීයක් දෙනා බලහත්කාරයෙන් අල්ලාගෙන ගොස් සිරකර තබා ඔවුනට ලිංගික අතවර කරමින් තෘප්තියක් ලබන්නටත්, එයට එරෙහි වූ දැරියන් සියයක් පමණ මරා දමන්නටත් මිනිසුන් පෙළඹී ක්‍රියා කරන්නේ ආගමේ නාමයෙනි. පාකිස්ථානයේ තම ප්‍රතිවිරුද්ධ ආගමික පල්ලියකට පහර දී එකවර සියගණනක් මරාදැමුනේත් ආගමේ නාමයෙනි. යුරෝපයේ වීදි ඔස්සේ උමතු ලෙස ට්‍රක් රථ ධාවනය කරවමින් සියගණනක් දෙනා මරා දමන්නේත් ආගමේ නාමයෙනි. ඉන්දියාවේ අයෝධ්‍යා නගරයේ පල්ලියේ හබය මුල්කරගෙන තුන්දහසක් දෙනා ඝාතනය කෙරුණේත් ආගමේ නාමයෙනි. නේපාලයේ එකවර එක තැන මිලියන ගණනක් ගවයන්ගේ බෙලි කපන්නේත් ආගමේ නාමයෙනි. බංගලාදේශයේ ඩැකා නගරයේ ලොකු කුඩා විදි ඔස්සේ සෑම වසරකටම වතාවක් අහිංසක සතුන්ගේ රුධිරයෙන් සැදුම්ලත් රක්තවර්‍ණ ගංගා ගලා යන්නේත් ආගමේ නාමයෙනි. නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුණු වලට පහර දී පන්දහසක් පමණ දෙනා මරා දමනු ලැබුවේත් ආගමේ නාමයෙනි. මේ සියලු ඝාතකයෝ ඒ ඒ පාර්ශ්වවල සිටගෙන ඒ ඒ පාර්ශ්ව වෙනුවෙන් මෙසේ මිනී මරණ හැමවිටම මහ හඬින් කෑ ගසා කියා සිටින්නේ “දෙවියන් වහන්සේ අමරණිය යි” යනුවෙන් හෝ “දෙවියන්ට ස්තුති වේවා” යනුවෙනි. ඒ මගින් පැහැදිලි වන්නේ උමතු මිනිසුන් තම තමාට වුවමනා අයුරින් ආගම උපයෝගී කරගෙන ප්‍රසිද්ධියේ ම මැර ක්‍රියාවන්ට පෙළඹී සිටින අයුරු ය.

මෙවන් භයංකර පරිසරයකට මැදිවී සිටින මිනිසුන්ට අවශ්‍යව ඇත්තේ වෙන කිසිවක් නොව සාමය යි. ජීවත්වීමේ අයිතිය යි. අද දවසේ ප්‍රකටව පෙනෙන අත්‍යවශ්‍යම කරුණ වන්නේ ඒ මහජන ඉල්ලීම ඉටුකරලිය හැක්කේ කෙසේ ද? යන සංවේදී ප්‍රශ්නයට යථාර්ථවාදී පිළිතුරක් සපයා ගැනීමයි. ජනහිතකාමී රාජ්‍ය පාලකයන්ගේත්, සමාජහිතකාමී සංවිධානවලත් මානව හිතවාදී හා පරිසර හිතවාදී ක්‍රියාකාරීන්ගේත් පරම යුතුකමව පවත්නේ මේ මහජන අභිප්‍රාය ඉටුකරලිය හැකි ක්‍රමවේද සොයා ගැනීමයි. ජනහිතකාමීන්ගේ අවධානය නිතැතින් ම දැන් යොමුවිය යුතුව පවතින්නේ එකම ශාන්තිවාදී පණිවුඩය වූ ගෞතම සාක්‍යමුනීන්ද්‍ර ශාන්තිනායකයාණන් වහන්සේගේ සම්මාදිට්ඨි පූර්වාංග ම වූ ආර්ය මාර්ගය වෙතම මිස වෙනත් කිසිවක් ගැන නොවේ.

වත්මන් සමාජ සන්තාපය නිවාලීම සඳහාත් භීෂණයේ අන්ධකාරය දුරුකරලීම සඳහාත් උතුම් බුදුදහම හැර වෙනත් මගක් නැති බවට හේතු සාධක ඇතුළත් කරුණු කාරණා ලෝකයට හෙළිදරවු කිරීම අත්‍යවශ්‍යව තිබේ.

දිය පිපාසිත සතුන් සිසිල් දිය යැයි සිතා මිරිඟුව පසුපස හඹා ගොස් මියැදෙන්නාක් වැනි ව මෝහාන්ධකාරයේ ගිලී සිටින ජන සමාජය තව දුරටත් ආලෝකය සොයමින් අඳුරේම අසරණ වී සිටින යුගය අවසන් කළ යුතුම ය. ඒ සඳහා වූ එකම මාර්ගය වන්නේ බුදුරදුන්ගේ අකාලික වූ පණිවුඩය ය යන්න ලොවට හෙළිදරවු කළ යුතුම ය.

ඒ සඳහා වන සුදුසුකම බුදුදහම මගින් ඉතිහාසය පුරා සපුරා ඇති බවට සාධක බොහෝ ය. එහිලා දැක්විය හැකි හොඳම සාධකය වන්නේ වසර දෙදහස් පන්සිය හැට එකකට වැඩි අකලංක වූ බෞද්ධ ඉතිහාසය යි. එදා මෙදා තුර ගත වූ කාල පරිච්ඡේදයේ ආගමේ නාමයෙන් මනුෂ්‍ය ඝාතන තබා සත්ත්ව ඝාතනයක්වත් බුදුදහම අනුගමනය කරන ලද ජන සමාජයන්හි සිදු වී නැත. තම ආගම පමණක් ලොව පැවතිය යුතුය, අනෙකුත් ආගම් ලෝකයෙන් තුරන් කළ යුතු ය යන පරවම්භන චේතනාවෙන් බුදුනුවෝ කවර කලෙකවත් අන් ආගමිකයන්ට හිංසා පීඩා කර නැත. අනිත් ආගම් ඇදහීම යක්ෂාවේශයක් ලෙස දකිමින් හොඳින් හෝ නරකින් අන්‍යාගමිකයන් තම ආගමට හැරවීමේ සටකපට ද්‍රෝහී ක්‍රියා කිසිලෙසකත් බොදුනුවන් වෙතින් සිදු වී නැත. අන් ආගමිකයන්ගේ දේපළ මංකොල්ල කමින් තම සිද්ධස්ථාන ගොඩනගාගත් ඉතිහාසයක්ද බෞද්ධයන්ට නැත.

Advertisements