ධර්ම දේශනා ක්‍රම

තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා ක්‍රම

තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් යුතුව ශ්‍රී සද්ධර්මය දේශනා කර වදාළා. ඒ වදාළා වූ ධර්ම දේශනා ක්‍රම හෙවත් දේශනා ශෛලිය මෙසේ විමසා බලමු.

තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාව කොටස් දෙකකින් යුක්තව අපට වටහා ගත හැකිය. එනම් වෝහාර හෙවත් සම්මුති දේශනා සාමුක්ඛංසික හෙවත් පරමත්ථ දේශනාව වශයෙනුයි.

සීලයේ පිහිටා ධර්මානුකූල ජීවිතයක ලෞකික ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය පිළිබඳව සම්මුති දේශනාවන් හි අඩංගුව පවතිනවා. ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සැනසිල්ල ලබන ආකාරය පරමත්ථ දේශනාවල අඩංගුව පවතිනවා.

තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයන් ගේ මානසික ස්වභාවය හෙවත් සසරගතව පුරුදු කරන ලද පාරමී ධර්මවල ස්වභාවය අනුව වර්තමානයේ ඇති කරගත්තා වූ ඤාණ ශක්තිය හා මානසික ස්වභාවය අධිගමයට හෙවත් මාර්ගඵල අවබෝධයට ඇති හැකියාව නුවණින් දැක ධර්මය දේශනා කර වදාළා.

තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව මූලික වශයෙන් ම අපට මේ ලෙසින් අවබෝධයක් ඇති කර ගත හැකියි.

“බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති
තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති
දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති
සන්තෝ සෝ භගවා සමතාය ධම්මං දේසේති
පරිනිබ්බුතො සෝ භගවා පරිනිබ්බාණාය ධම්මං දේසේති”

භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය්‍ය සත්‍ය ධර්ම අවබෝධය ලබා අන් සත්ත්වයන්ටත් ඒ සත්‍යාවබෝධය පිණිස ධර්මය දේශනා කර වදාළා. සතර අපායෙන් පිරිපුන්ව පවතින සසරකතරින් එතරව ඒ දුක්ඛ, දෝමනස්සයන්ගෙන් එතෙරවන ආකාරයට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා.

සියලු කෙලෙසුන්ගෙන් දමනය වී අන් සත්ත්වයන්ට ද කෙලෙසුන්හි දමනය වීම පිණිසත්, කෙලෙසුන්ගේ දමනයෙන් ඇතිවන නිවුණු, ශාන්ත ස්වභාවය සිත්හි සකසාගෙන අන් සත්ත්වයන්ට ද ශාන්තභාවයට පත්වීම පිණිස ධර්මය දේශනා කර වදාළා.

එසේ නම් භාග්‍යවතුන් වහන්සේ කුමන ආකාරයකින් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළත් ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම පිණිසම එම ශ්‍රී ධර්මය දේශනා කරන බව පැහැදිලියි. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ ඥාන ශක්තිය, අධිගමය පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුවයි. බුදු උතුමෙකුට ඒ ස්වභාවය ස්වභාවයෙන් ම වැටහෙනවා.

උග්ඝටිතඤ්ඤු – එනම් වහා අවබෝධවෙන තැනැත්තා විපචිතඤ්ඤු – මදක් විස්තර කිරීමෙන් අවබෝධ කරගත හැකි තැනැත්තා ඤෙයය – අර්ථය සම්පූර්ණයෙන් විවරණය කිරීමෙන් පසුව අවබෝධ කර ගන්නා වූ තැනැත්තා පදපරම – වචන පමණක් ම මිස අර්ථය අවබෝධ කර නොගන්නා වූ පුද්ගලයා. මේ ආකාරයෙන් ඔවුන්ගේ ඤාණ ශක්තිය හා මානසික ස්වභාවය දැන හඳුනාගැනීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය සියලු සත්ත්වයන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් දේශනා කර වදාළා.

එමෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අන් සත්ත්වයන්ට අවබෝධ කරගත හැකි ආකාරය මේ ලෙසිනුත් දැක්විය හැකිය, එනම් තික්ඛින්ද්‍රිය – තියුණු හෙවත් වහා පරමාර්ථ ධර්මය වටහා ගත හැකි ආකාරයට ඉන්ද්‍රියයන් පවතින පුද්ගලයායි. මුදුන්ද්‍රිය – කරුණා, මෛත්‍රිය, පිරිපුන් වහා අකුසලයෙන් බැහැර වී කුසලයට ළංවීමට තරම් මෘදුභාවයක් ඇති තැනැත්තාය. ස්වාකාර – එනම් සුන්දර ආකාර ස්වභාවයක් මනසේ ඇති තැනැත්තාය. සුවිඥාප – එනම් පහසුවෙන් දේශනා කරන ලද ධර්මය අවබෝධ කරගත හැකි දත හැකි විමසා බලා අවබෝධයට මාර්ගය සාදාගත හැකි තැනැත්තායි.

මේ ආකාරයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ ඤාණ ශක්තිය මානසික ස්වභාවය දැන හඳුනාගෙන තථාගත බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්ත්වයන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කර වදාළා. භාග්‍යවතුන් වහන්සේ වෙතට යම් කෙනෙක් පැමිණීමේ දී ඤාණ ශක්තිය හා ඒ ඒ පුද්ගලයාගේ ඒ මොහොතේ පවත්නා වූ මානසික ස්වභාවය නුවණින් තේරුම් ගැනීමෙන් අනතුරුව “ආනුපුබ්බී කථා” නම් වූ ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කර වදාළා.

ආනුපුබ්බී කථා නම් දාන කථං, සීල කථං, සග්ගකථං, කාමානං ආදීනවං, ඕකාරසංකිලේසං, නෙක්ඛම්මෙ ආනිසංසං යනුවෙනි. දාන කථං – එනම් දීමෙහි අත් හැරීමෙහි ඇති ආනිසංස පිළිබඳවයි. සීලකථං – චිත්ත සංතානයෙහි එකඟතාවය ඇතිව සමාහිත සිතකින් යුක්තව ඇති කර ගන්නා වූ කායික, වාචසික සංවරය ඇති උතුම් ස්වභාවයයි. සග්ගකථං – දෙවියන් හා දෙව්ලොව පිළිබඳව කතායි. මනුෂ්‍යයන් සීලයෙන් යුක්තව සමාධියෙන් ප්‍රඥාවට යොමු කර ගැනීමට දෙවියන්ගේ ස්වභාවයත්, දෙව්ලොව පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා නම් වූ පංචවිධ ගුණයන් වඩා දෙවියන් බවට පත් වූ බව මේ කතාවන්හි පැහැදිලි වෙනවා. සත්ත්වයන් පාපයෙන් හෙවත් අකුසලයෙන් බැහැරව කුසලයට යොමු කිරීමට මින් අදහස් කරනවා.

කාමානං ආදීනවං – කාමහන්හි ඇති ආදීනවය. එනම් කාමයෝ නම් ඇටසැකිල්ලක් බඳුය. ආදී වශයෙන් කාමහන්හි ඇති බලවත් වූ ආදීනව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදළා.

ඕකාරසංකිලේසං – රාගාධී කෙලෙස්වල ඇති භයානක බව හා එහි ඇති තියුණු ආදීනවයන් පිළිබඳව දේශනා කරනවා.

නෙක්ඛම්මෙ ආනිසංසං – එනම් පංච කාමයන්ගෙන් වෙන්වීමේ ඇති ආනිසංසය. එය සිතෙහි සකස් වන සංසිඳීම නිවනට අරමුණු කරන ආකාරය හෙවත් සියලු තෘෂ්ණාව බැහැර කරන ආකාරය නෙක්ඛම්මෙ ආනිසංසං නික්මීමෙහි නෛස්ක්‍රම්‍යයෙහි ආනිසංසං යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

මේ දේශනාවන් ආනුපුබ්බී කථා හැටියට හඳුන්වනවා. ඒ දේශනාවන් ද පැවැත්වීම සාරාංශ කොට මෙසේ දැක්විය හැකියි.

“ධම්මියා කථාය සන්දස්සේසි
සමාදපේසි සමුත්තේජේසි
සම්පහංසේසි” එනම් දැහැමි කතාවකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා.

ඉහත සඳහන් කළ ආනුපුබ්බී කථාවකින් යුතුව දානාදි කථාවකින් යුතුව භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා. සමාදපේසි – ඒ කතාවෙහි ඒ අර්ථයෙහි සමාදන් වෙනවා.

සමුද්දේසි – භාග්‍යවතුන් වහන්සේ විසින් එහි උනන්දු කරවනවා. ආරම්භ ධාතු, නෙක්ඛම්ම ධාතු, පරාක්‍රම ධාතු, ආරම්භ කරන්න, සිදු කරගෙන යන්න, එනම් පවත්වාගෙන යන්න. සිහිය පිහිටුවා ගන්න. කුමන කරදර බාධක පැමිණියත් එනම් කෙලෙසුන්ගේ මොන ආකාරයක පීඩා පැමිණුනත් ඒ කෙලෙසුන්ට වසඟ නොවී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිම ශ්‍රද්ධාවෙන් හා අවබෝධයෙන් යුතුව සියලු කෙලෙසුන් නැසීම අරමුණු කරගෙන ම යහපත් වූ අරමුණු ඉටු කර ගැනීම පිණිසම මාර්ගය අනුගමනය කිරිමත් අවසන් කළයුතු බවත්ය.

සමුත්තේජේසි – උනන්දු කරනවා යැයි සඳහන් කළේ එයයි.

සම්පහංසේසි – නම් ඒ ධර්මය අනුගමනය කිරීමෙන් ලද බලය නිසා ඇතිවන නිරාමිස ප්‍රීතියයි. ඒ වගේම සියලු කෙලෙසුන්ගෙන් මිදීමෙන් ලබන ඒ උතුම් වූ ම ප්‍රීතියයි. සම්පහංසේසි ප්‍රහර්ෂයක් ඇති කරනවා යැයි සඳහන් කළේ එයයි.

මෙසේ මේ ශ්‍රී සද්ධර්මය ඔස්සේ සැනසිල්ලක් ලබන විට ශ්‍රාවකයාගේ සිත පිළිබඳවත් ධර්ම කතාවේ පෙන්වා දී තිබෙනවා. එනම් කල්ලචිත්ත – නම් ආරෝග්‍ය සිතක්ය යන අදහසයි. කෙලෙස්වලින් ආතුර නොවූ එනම් ගිලන් නොවූ නීරෝගී සිතක්ම ඇතිවන බවයි. භාග්‍යවතුන් වහන්සේගේ ඒ දහම් කතා අසාගෙන සිටින විට ඕනෑම පුද්ගලයකුට තමන් වෙනුවෙන් ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන බවත්, සසර ගමනේ පටන් පැවතුණු මෙලොව ජීවිතයේ අතීතයේ පැවතුණ දුක්ඛ දෝමනස්ස හෝ වර්තමානයේ ඒ මොහොතේ, පවතින යම් වූ ද ඇලීම් ගැටීම් නිසා ඇති වූ දුක්ඛ දෝමනස්සයක් වේද එය සංසිදේවි. එනම් වතුරෙන් පිරි විලක බොර වතුර පෑදී, උඩින් බැලූ කල විලේ පත්ල පෙනෙනා සේ සංසුන් වූ මනස නීරෝගී වෙන්නට පටන් ගන්නවා.

මුදුචිත්තං – මෘදු සිතක් ඇතිවීමයි. ථම්භ නම් වූ පාපයන් නිසා බලවත් ලෙස පාපයටම ශක්තිමත් වූ පැවතුණු, එනම් තදින් ඇළුනු, ගැටුනු මුලාවට පත් වූ සිත මෘදු වෙන්නට, ලිහිල් වෙන්නට, එමෙන්ම කුසලයට නැමෙන්නට පටන් ගන්නවා.

විනීවරණ චිත්තං – නීවරණයන් බැහැරවන්නට පටන් ගන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්ච්ඡ, විචිකිච්ඡා, නම් වූ නීවරණ ධර්ම බැහැර වී යන්නට සංසිදෙන්නට පටන් ගන්නවා. ධර්ම මාර්ගය අනුගමනය කරන්නට බාධකව පැවැතුණු මාර්ගය අහුරා තිබූ නීවරණ ධර්ම බැහැරවීමෙන් වළාකුළු අතරින් මතු වී පෙනෙන පූර්ණ චන්ද්‍රයා සේ මනස නීරෝගී වීමෙන් ධර්මාවබෝධය පිණිස සිත ඉලක්ක වෙනවා. අරමුණු වෙනවා.

උදග්ග චිත්තං – ඔද වැඩී ගිය සිතක් ඇති වෙන්නට පටන් ගන්නවා. “ධම්ම පීති සුඛං හෝති” ඒ ධර්මයේ අවබෝධය සැනසීම නිසා මහත් වූ සුවයක් දැනෙන්නට පටන් ගන්නවා. සිතෙහි ඔද වැඩෙන්නෙ කාමය, රාගය, ද්වේෂය, මෝහය නිසා නෙමෙයි. “යථා භූතං පජානාති” ධර්මය ඔස්සේ තතු තතු සේ තම සිත අවබෝධ කර ගැනීම නිසාය. අවසානයේ ‘පසන්න චිත්තං’ පැහැදුණු සිතක් ප්‍රසන්න සිතක් ඇතිවෙන්නට පටන් ගන්නවා.

මේ මාර්ගඵල අවබෝධ ලබන අවස්ථාව විය හැකිමයි. මෙතෙක් කල් සසර ගමනේ පටන් දුක් දුන්න ශෝක පරිදේවයන් උරුම කළ සක්ඛාය දිට්ඨියෙන් යුතු මානසික ස්වභාවය බැහැර වී ප්‍රසන්න සිතක් සකස්වීමයි මින් අදහස් කළේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මයෙන් පුද්ගලයන් සැනසෙන ආකාරය ඒ ධර්ම කතාවෙන් පැහැදිලි වෙයි.

කරුණාවේ හා ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිමූර්තිය

මෙම ලිපියෙහි මුල් කොටස වෙසක් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

කරුණාවේ හා ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිමූර්තිය වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාශය අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයේ සිටින කවරෙකුට වූව ද පහසුවෙන් විස්තර කළ නොහැකිය. අවම වශයෙන් එය මාර්ගඵල අවබෝධය ලැබූ උතුමෙක්වත් දේශනා කළ යුතුය. පැහැදිලි කළ යුතුමය.

තථාගත බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළ ධර්ම පරියාය අපට මෙසේ විස්තර කර ගත හැකිය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් ධර්මය දේශනා කිරීමේ දී දේශනා සූත්‍රයට අනුව කාරණා වශයෙන් කොටස් දෙකක් වශයෙන් එනම්, දෙයාකාරයකට දේශනා කළ සේක.

එනම් පාපය ලාමක වශයෙන් බලන්න. එය පළමු ධර්ම දේශනා ආකාරයයි. පාපය ලාමක වශයෙන් දැක එහි කළකිරෙන්න නොඇලෙන්න, මිදෙන්න. එය දෙවැනි ධර්ම දේශනා ආකාරයයි. ප්‍රධාන වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ දහම් මඟ එසේ දකින්නේ මේ ආකාරයෙනුයි. සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පා කරන සුළු වූ තථාගත බුදුරජාණන් වහන්සේ කාරණා වශයෙන් එනම් වාර වශයෙන් පවත්නා වූ ඒ දේශනාවන් බලන්න. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයෝ දෙදෙනෙක් එසේ දේශනා කළා යනුවෙනුයි.

ඒ දහම් පෙළ නැවතත් මෙසේ කොටස් කර ගත හැකියි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කිරීමේ ආකාරය දෙයාකාරයි. එනම් කතා ක්‍රමය, එනම් ජාතක කතා ද උපමා කොට දක්වමින් අප වටා පරිසරයෙන් නිදසුන් රැගෙන දේශනා කිරීම එක් ක්‍රමයකි. දෙවන ක්‍රමය නම් ප්‍රශ්න විමර්ශනය කරමින් පිළිතුරු සපයමින් දේශනා කරන ක්‍රමයයි. යම් විටක භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසකයෙක් හෝ උපාසිකාවක් විය හැකියි. අසන ලද ප්‍රශ්නයකට ඒ ප්‍රශ්නයත් විවරණය කරමින් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමේ ක්‍රමයයි. සමහර ප්‍රශ්න කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසාදයෙන් පිළිතුරු ලබා දුන්නා.

කෝසල සංයුක්තයේ දී කොසොල් රජතුමාගේ ප්‍රශ්නවලටත් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්නේ ඒ ආකාරයෙනුයි. සාති භික්ෂුව වැනි භික්ෂූන් ඇති කළ යම් වූ ද ප්‍රශ්නවල දී භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් එනමුත් ඒ පුද්ගලයන් මෝඝ පුරුෂයන් එනම් ධර්මාවබෝධයක් නැති හිස් පුරුෂයන් හැටියට හඳුන්වමින් ප්‍රශ්න විමර්ශනයට ලක්කරමින් ධර්මය දේශනා කළ සේක.

සාකච්ඡා ක්‍රමය එනම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් ඔවුන්ගෙන් ම පිළිතුරු ලබා ගනිමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් ක්‍රමයයි. රාහුලෝවාද සූත්‍රය වැනි දේශනාවන්ගෙන් එය පැහැදිලියි.

උපමානුසාරී ක්‍රමය. භාග්‍යවතුන් වහන්සේ ස්වභාව ධර්මයට එනම් ගහ කොළ, කඳු පර්වත, දිය ඇළි ලෝක ස්වභාවය නිරතුරුවම ආශ්‍රය කළ උතුමෙකුයි. ගසක් යට ඉපදී, ගසක් යට සත්‍යාවබෝධය ලබා, ගසක් යටම පිරිනිවී මේ උතුමෝ ස්වභාවික පරිසරයම උපමාවට බොහෝ විටක යොමු කර ගත්හ. භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් ම උපමා දේශනාවල දී අඩංගු කරගත් බව පැහැදිලි වන්නේ සියලු බෞද්ධයන් අතර ඉතාම ජනප්‍රිය වූ හස්ථසාර වස්තුවක් වූ ධම්ම පදයේ මුල් ගාථා දෙක විමසා බැලීමෙන්මයි.

පව් සිදු කරන පුද්ගලයාගේ පිටු පස ගොනු පය අනුව ගමන් කරන රථ රෝදය මෙන් විපාකය ලැබෙන බවත්, පින් සිදු කරන පුද්ගලයාගේ විපාකය සෙවනැල්ල සේ ඔහු හෝ ඇය අත නොහැර යමින් විපාක ලබාදෙන බවත් භාග්‍යවතුන් වහන්සේ එහි දේශනා කොට ඇත. මේ ලෙසින් උපමා උපමේයන් දහස් සංඛ්‍යාත අවස්ථාවන් ශ්‍රී සද්ධර්මය ඔස්සේ තේරුම්ගත හැකි බව දැක ගත හැකියි.

භාග්‍යවතුන් වහන්සේ වෘත්තාන්තයක් ලෙස, යම් කතා ප්‍රවෘත්තියක් හැටියට ධර්මය දේශනා කොට තිබෙනවා. ඒ වෘත්තාන්ත අතීත කතා, මේ ජීවිතයේ ම කතා, ජනප්‍රවාදවල පවතින කතා, වර්තමානයේ මනුෂ්‍යයන් අතර පවතින කතා ප්‍රවෘත්ති විය හැකියි. සමහර විටක මේ කතාවන්වලට සත්ත්වයන් ද අමනුෂ්‍යයන් ද සම්බන්ධව පවතින බව ඉතාම පැහැදිලියි.

භාග්‍යවතුන් වහන්සේ විසින් ඉඳිඹුවෙක් හෙවත් ඉබ්බෙක් උපමා කොට දේශනා කළ කුම්මෝපම සූත්‍ර දේශනාව හඳුන්වාදිය හැකියි. එම කතා පුවතින් සඳහන් කරන්නේ මාරයා ඇස, කන, නාසය, දිව, ශරීරය හා සිත ළඟ නිරන්තරයෙන් අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා කාමාදී කෙලෙස්වලට හසුකර ගැනීමට බලා සිටින බවත් මේ නිසා ශ්‍රාවක, ශ්‍රාවිකාවන් සතර සතිපට්ඨානයෙන් පුරුදු කරන ලද සිහිය පවත්වාගෙන කටයුතු කිරීමෙන් ඇස, කන ආදී ඉන්ද්‍රියන්ගෙන් මාරයාට අසු නොවී ආරක්ෂා විය හැකි බවයි. සතර අපායට වැටෙන මාර්ගය වළක්වාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මාර්ගය හදා ගත හැකි බවයි. මෙවැනි වෘත්තාන්ත උපයෝගී කරගෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සිත්වල මතක තබාගෙන කෙලෙසුන් සංසිඳෙන ආකාරයේ “කත්ථු කම්‍යතා කුසලච්ඡන්දය” නම් වූ කුසලයට කැමැත්තක් ඇති කරන ආකාරයෙන් ධර්මය දේශනා කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ දෘෂ්‍යමාධ්‍යයෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඇසට පෙනෙන ආකාරයට අවස්ථාව සලසා දී ධර්මය අවබෝධ කරන්නට කටයුතු කළ සේක. රූප නන්දාව රූපය කෙරෙහි මහත් වූ මදයට, මානයට පත්ව සිටියි. රූප නන්දාවන්ට තරුණ කාන්තාවකගේ රුවක් මවා එය ක්‍රමයෙන් දිරාගෙන ගොස් මහලු වී ඇටසැකිල්ලක් බවට පත්වෙන ආකාරයට දකින්නට සළස්වා ධර්මාවබෝධයට මාර්ගය පෙන්වා දුන් සේක. එසේම නන්ද කුමාරයා දෙව්ලොවට කැඳවාගෙන යන ගමනේ වන ළැහැබක පිළිස්සී එල්ලී සිටි වැඳිරියකගේ රුවක් පෙන්වා ඒ ආශ්‍රය කරගෙන කෙලෙසුන්ගෙන් මිදෙන්නට මාර්ගය පෙන්වා දුන් සේක. පිළිස්සුණු වැඳිරියත්, ඉන් අනතුරුව දෙව්ලොවදී දිව්‍යාංගනාවන් ද දකින්නට සළස්වා කෙලෙස් සහිත අශ්‍රැතවත් පෘතග්ජන සිතක් ඇතිකර ගන්නා වූ නොතික් ආශාවන් නිසා සිතේ ඇතිවන චිත්ත විපර්යාසය කෙලෙසුන්ගේ විපල්ලාසය එනම් සිත ව්‍යාකූල බවට පත්කරන්නා වූ ආකාරය මැනවින් වටහා දී අරහත්වය දක්වාම මඟ සලසන්නට භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ හිරු සඳු, මහ පොළොව, ගල් පර්වත, ගහකොළ ආදී මේ සෑම භෞතික වස්තුවක්මත් උපමාවට අරගෙන මුල්කොටගෙන මනා වූ සංනිවේදනයකින් ශ්‍රී සද්ධර්මය දේශනා කළ බව පැහැදිලිය. ශ්‍රාවකයන්ට ධර්මය විනය වගේ ම අධර්මය, අවිනය, අයුක්තිය මේ කරුණු මුල්කරගෙන එහෙත් ඇලීම් ගැටීම් ඔස්සේ කෙලෙසුන්ගේ වැඩීම පිණිස නොව අධර්මය, අවිනය, අයුක්තිය පෙන්වාදුන්නත් ඒවා පාපය අකුසලය මාර බලවේග හැටියට පෙන්වා දී සියලු කෙලෙසුන්ගේ නිවීම පිණිසම භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ එම දේශනාව කාලවාදී, භූතවාදී, අත්ථවාදී, විනයවාදී, ධම්මවාදී, ලෙසින් හඳුන්වා දිය හැකියි.

තථාගත බුදුරජාණන් වහන්සේගේ, මේ දේශනා අපට නැවතත් මේ ආකාරයෙන් ව්‍යවරණයක් ඇතිකරගත හැකියි. එනම් “පඤ්ඤපනා” – නම් තාර්කිකව භාග්‍යවතුන් වහන්සේ සිද්ධාන්ත සහිතව ධර්මය දේශනා කිරීමයි. මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ. එනම් මගේ වසඟයෙහි මගේ පාලනයේ පවත්වන්නේ නැත යනුවෙනි. මේ ආකාරයෙන් තාර්කික ආකාරයෙන් සිතකට ගළපා ගත හැකි ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. “පට්ඨපනා” – පුනරීක්ෂණ ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කළ සේක. “විභජනා” – එනම් විශ්ලේෂණය කරමින් ධර්මය දේශනා කිරීමයි. කුඩා, අනු කුඩා කොටස්වලට බෙදමින් යම් වූ ද සංසිද්ධීන් සියුම් ලෙස විශ්ලේෂණය කරමින්, විග්‍රහ කරමින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. “විවරණා” – නැවත නැවතත් භාග්‍යවතුන් වහන්සේ කොටස්වලට බෙදමින් ඒවාට අවශ්‍ය උපමා උපමේය පෙන්වාදෙමින් අතීත කතා ජාතක කතා ආශ්‍රයෙන් ද කරුණු දක්වමින් වර්තමානයේත් යම් යම් වූ ද උතුමන්, නිදසුන් ලෙස සද්පුරුෂ ආශ්‍රයට සුදුසු බව පෙන්වා දෙමින් නැවත නැවත විවරණය කර ධර්මය දේශනා කළ සේක. “උත්ථානීකම්මං” – භාග්‍යවතුන් වහන්සේ නැවතත් මේ හැම කරුණක් ම උන්වහන්සේ මනා කොට විස්තර කරමින් අවබෝධය ඇතිවන ආකාරයෙන් පුහුදුන් මිනිස් මනස ඉහළට නැංවීම පිණිස උන්වහන්සේ දේශනා කළ දහම් පිළිවෙල ඉතා හොඳින් තේරුම් ගත හැකියි.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් අට්ඨකතාවන්ට අනුව අපට තවත් ආකාරයකින් මෙසේ විවරණය කරගත හැකියි. “අත්තජ්ඣාසය” – අදාළ මොහොතේ සිටින පිරිස ඉලක්ක කොට මොවුනට මෙවන් දේශනාවක් කිරීම සුදුසුයි යන නිගමනයට එළඹෙමින් තමන් වහන්සේ සිතැඟි පරිදි ධර්මය දේශනා කිරීමයි. “පරජ්ඣාසය” – දහම් ශ්‍රවණයට එන ශ්‍රාවක පිරිසකගේ සිත්හි අදහස දැන ඔවුන්ගේ අදහස්වලට ගැළපෙන පරිදි දහම් දෙසීමයි. “පුච්ඡාවසික” – ශ්‍රාවකයන් විසින් අසන ලද ප්‍රශ්නයකට හෝ ප්‍රශ්නවලට අදාළව, ප්‍රශ්නවලට අදාළ මූලික කරුණු විමසා බලමින් විස්තර විවරණය සහිතව ධර්මය දේශනා කිරීමයි. “අට්ඨුප්පත්තික” – ශ්‍රාවක ජනයා අතර ඇති වූ යම් කරුණක් මුල්කොට එහි අර්ථ විවරණ සහිතව එම කරුණු පැහැදිලි කිරීම මුල්කොට දහම් දේශනා ක්‍රමයයි.

එමෙන් ම තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිස කෙරෙහි මෙන්ම දෙවියන්, බ්‍රහ්මයන් කෙරෙහි ද මහත් වූ කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් යුතුව දේශනා කළ ධර්ම පෙළ අපට නැවතත් කොටස්වලට මෙසේ බෙදා වෙන්කර ගත හැකිය.

“ඒකංස ව්‍යාකරණීය” – එක එල්ලේ පිළිතුරක් ලබාදීම හෙවත් ඍජු පිළිතුරක් ලබාදීමයි. එහි දී ප්‍රශ්නයකට අදාළව නිරවුල් එක් පිළිතුරක් ඉදිරිපත් කිරීමයි. “විභජ්ජ ව්‍යාකරණීය” – අසන ලද ප්‍රශ්නයට බෙදා වෙන්කොට සවිස්තරව පැහැදිලි පිළිතුර සැපයීමයි. එය විස්තර විවරණ සහිතව පිළිතුරක් ලෙස හැඳින්වෙනවා. “පටිපුච්ඡා ව්‍යාකරණීය” – එනම් ප්‍රශ්නය අසන්නාගෙන් ප්‍රති ප්‍රශ්න නගමින් එම ගැටලුව නිරාකරණය කිරීමයි. ප්‍රශ්නය ඉදිරිපත් කරන්නාගෙන් ම නැවත නැවතත් ප්‍රශ්න නගමින් අදාළ තැනැත්තාගෙන්ම නිවැරදි පිළිතුර ලබාගෙන කරුණු පහදා දීමයි. “ඨපනීය ව්‍යාකරණීය” – ධර්මාවබෝධයට සත්‍යාවබෝධයට අදාළ නොවන කරුණක් මුල්කොට විමසන ප්‍රශ්න එක එල්ලේ ම මේ ක්‍රමයට අනුව බැහැර කිරීමයි. එය අර්ථ ශුන්‍ය කරුණක් ලෙස සපුරා ඉවත දැමීම මෙහි විශේෂිත ලක්ෂණයයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වන්නේ ඉතාම කෙටි කාලයකදී සියලු සත්ත්වයන් සතර අපායෙන් හෙවත් සසර ගමනේ විඳි දුකෙන් නිදහස් කොට සදාකාලික සුවයක් වූ නිවන් අවබෝධ කරදීම පිණිසයි.

තථාගත බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් දේශනා කළ ධර්ම පරියාය, පිළිවෙත් මාර්ගය ඔබටත් අපටත් ඒ උතුම් චතුරාර්ය්‍ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මාර්ගය සාදාගත හැකි බව මින් පැහැදිලියි.

Advertisements