තිසරණය

තිසරණයෙහි නිවැරදි ව පිහිටන්නේ කෙසේ ද?

තිසරණය යන වචනයේ තේරුම පිහිටවල් තුන ය යනු යි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයෙකු විසින් හෝ සත්ත්වයන් හට පැමිණියා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද දුක් දුරු කිරීම හෝ සැපය ඇති කර දීම හෝ දෙක ම හෝ සිදු කරනු ලැබේ නම් ඒ වස්තුවට ද පුද්ගලයාට ද පිහිට යයි කියනු ලැබේ. සාදුක නැති කිරීමෙන් හා ශක්තිය ගෙන දීමෙන් ද ආහාරය අපට පිහිට වේ. අව් සුළං වැසි ආදියෙන් වන දුක් දුරු කිරීමෙන් ගෙය මිනිසාට පිහිට වේ. එක් පුද්ගලයෙකුට පිහිට වන දේවල් මහා සමූහයක් ඇත්තේ ය. මා පිය නෑ මිතුරු ආදි පිහිට වන පුද්ගල සමූහයක් ද ඇත්තාහ. ඒ සියලු ම වස්තූන්ගෙන් හා පුද්ගලයන්ගෙන් ලැබෙන උපකාරයන්ට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් උපකාර වන්නා වූ උතුම් පිහිට තුනක් අපට ඇත්තේය. එනම්, බුද්ධ, ධම්ම, සඞ්ඝ යන මේ රත්න තුන ය. බුද්ධාගම්කාරයන් විසින් තිසරණය යි සලකනු ලබන්නේ ඒ රත්න තුන ය. සත්ත්වයන්ට මාපියාදීන් පිහිට වන්නේ එක් ජාතියක් පිළිබඳ සැප දුක්වලට පමණෙකි. බුද්ධාදී රත්නත්‍රය වනාහි සතර අපායේ ඉපිද ලැබිය යුතු සියලු දුක් දුරු කර ගැනීමට ද, ජාති ජරා ව්‍යාධි මරණාදි සංසාරික දුක්ඛයන් දුරු කර ගැනීමට ද, මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් හා ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට ද සත්ත්වයනට පිහිට වේ. එබැවින් ඒ බුද්ධාදි රත්නත්‍රය ම සත්ත්වයන්ගේ උතුම් පිහිට තුන වන්නේය.

රත්නත්‍රය සත්ත්වයන්ට පිහිට වන ආකාරය

අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් ලබා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන්වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද එසේ ම ය. එසේ හෙයින් ඒ රත්නත්‍රය අපට පිහිට වන්නේ කෙසේ ද යන ප්‍රහ්නය මෙහි ඇති වේ. එබැවින් රත්නත්‍රය සත්ත්වයනට පිහිට වන ආකාරය සැකෙවින් දක්වනු ලැබේ.

එක් එක් පුද්ගලයෙකුට පිහිට වන්නෝ බොහෝ වෙති. ඒ අය පිහිට වන්නේ ද එක් ආකාරයකින් නො ව නොයෙක් ආකාරවලිනි. තථාගතයන් වහන්සේ වෙදකු රෝගියකුට පිහිට වන ආකාරයෙන් හා කුඹුරක් ගොවියකුට පිහිට වන ආකාරයෙන් ද ලෝකයාට පිහිට වන්නාහ. රෝගයක් ඇති තැනැත්තාට එය දුරු කර ගැනීමට වෙද මහතකුගේ පිහිට වුවමනා ය. වෙද මහතා රෝගියාට මේ මේ බෙහෙත් ගත යුතු ය; මේ මේ ආහාර ගත යුතු ය; මේ මේ ආහාර නො ගත යුතු යයි අනුශාසනයක් කරයි. එය හැර වෙද මහතා ඒ රෝගියාට සාත්තු කරන්නේ ද නො වේ. බෙහෙත් ආහාර පාන සපයා දෙන්නේ ද නො වේ. රෝගියා ඒ සියල්ල ම තමා විසින් කර ගෙන හෝ තමාගේ නෑයන් මිතුරන් සේවකයන් ලවා කරවා ගෙන හෝ රෝගය සුව කර ගනී. එහෙත් රෝගය සුව වූ පසු මාගේ රෝගය අසුවල් වෙද මහතා සුව කෙළේ ය යයි කියයි. සියල්ලෝ ම එය අවිවාදයෙන් පිළිගනිති. එසේ කියන්නේ ද, ලෝකයා එය පිළිගන්නේ ද වෙද මහතාගේ අනුශාසනය රෝගය සුව කර ගැනීමේ ප්‍රධාන හේතුව වූ නිසාය. වෙද මහතාගේ අනුශාසනය රෝග සුවය ලැබීමේ ප්‍රධාන හේතුව වන බැවින් වෙද මහතා රෝගය සුව කළේ යයි ද රෝගය සුව කර ගැනීමට පිහිට වූයේ යයි ද කිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ද සත්ත්වයනට සියලු දුක්වලින් මිදීමේ හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීමේ ද ක්‍රමය දක්වා අනුශාසනය කළ සේක. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ අනුශාසනය පරිදි ක්‍රියා කොට දුකෙන් මිදෙති. ඒ ඒ සම්පත් ලබනු කැමැත්තෝ ද උන්වහන්සේගේ අනුශාසනය පරිදි ක්‍රියා කොට ඒවා ලබා ගනිති. ඒ අනුශාසනය නො ලැබිණි නම් සත්ත්වයනට ඒ දෙක සිදු කර ගත නො හෙන බැවින් ඒ දෙ කරුණට තථාගතයන් වහන්සේගේ අනුශාසනය ම ප්‍රධාන වේ. එ බැවින් සියලු දුකින් මිදීමට හා සියලු සම්පත් ලැබීමට තථාගතයන් වහන්සේ පිහිට වන සේකැ යි කිය යුතු ය. එසේ ම පිළිගත යුතු ය.
කුඹුර ගොවියාට වී ලබා ගැනීමට උපාකාරී වීම් වශයෙන් පිහිට වන්නකි. එහෙත් ගොවියා වී ලබා ගනුයේ ඔහුගේ මත් වූ වීර්යයෙනි. ගොවියාගේ ප්‍රයෝජනය පිණිස අල්ප ව්‍යායාමයකුදු කුඹුර නො කරන්නේ ය. එහෙත් කුඹුර නැතිව කොතෙක් උත්සාහ කළත් ගොවියාට වී නො ලැබිය හැකි බැවින්, කුඹුර වී ලබා ගැනීමට ගොවියාට පිහිට වන්නක් සැටියට සැම දෙන ම පිළිගනිති. මනුෂ්‍යයන් විසින් කුඹුර වටිනා දෙයක් ලෙස පිළිගන්නේ ද ඒ නිසා ම ය. ව්‍යායාමයක් නැති බැවින් කුඹුර මනුෂ්‍යයන්ට පිහිටක් නැති දෙයක් නම්, මනුෂ්‍යයෝ එය වටිනා වස්තුවක් ලෙස නො පිළිගනිති. සකල පාපමලාපගමයෙන් සුපරිශුද්ධ වූ ද, අර්හත් සර්වඥත්වාදී අපරිමිත ගුණ සාරයෙන් සාරවත් වූ ද, සන්තාන ඇති තථාගතයන් වහන්සේ පින් නමැති උත්තම වස්තුව ලබා දීමෙන් සත්ත්වයනට පිහිට වන්නා වූ කුඹුරෙකි. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් මාත්‍රය පවා නොයෙක් වර දෙව් මිනිස් සැප ලැබීමට හේතු වන කුශලයෙකි. පූජා සත්කාර කිරීමෙන් ලැබිය හැකි කුශලය ගැන කියනුම කිම? එය සියලු දුක් දුරු කර ගැනීමටත් සියලු සම්පත් ලැබීමටත් හේතු වන කුශලයෙකි. ඒ මහත් වූ කුශලය තමාගේ ම උත්සාහයෙන් ලබා ගන්නක් වන නමුත් බුදුන් වහන්සේ ඒ සඳහා කරන ව්‍යායාමයක් නැති නමුත්, තථාගතයන් වහන්සේ ලොව පහළ නො වී නම් සත්ත්වයනට ඒ කුශලය ලබා ගත නොහෙන බැවින් ගොවියාට කුඹුර පිහිට වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයනට පිහිට වන බව දත යුතු ය.

අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේට මීට චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ම නිවන් ලැබිය හැකි ව තිබුණේය. උන්වහන්සේ එදා ලැබිය හැකි ව තිබූ නිවන සත්ත්වානුකම්පාවෙන් හැර සසරට පිවිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි මහා ව්‍යායාමයක් කළ සේක. එය කරන ලදුයේ සත්ත්වයනට පිහිට වනු පිණිස ම ය. දැන් අපට පිහිට වන්නා වූ අපගේ මාපියාදි කිසිවෙක් අපට දුකක් පැමිණි කල ඉන් අප මුදවා ගනු පිණිස තමන්ගේ ශරීරවලින් ලේ කළඳකුදු මස් කළඳකුදු වියදම් නො කරන්නාහ. එහෙත් බුදුන් වහන්සේ අපට පිහිටවනු පිණිස බුද්ධත්වය පතා ධනය ද, අඹුදරුවන් ද, තමන් වහන්සේගේ ඇස් ඉස් ලේ මස් ද ජීවිතය ද සියදහස් ගණන් ජාතිවලදී පරිත්‍යාග කළ සේක. එබැවින් මහාකාරුණික වූ තථාගතයන් වහන්සේ අපට පිහිට වනු පිණිස කළ ක්‍රියා රාශිය ද ඉතා මහත් බව දත යුතු ය. එය මෙතෙකැ යි ප්‍රමාණ කරන්නට ද නුපුළුවන.

ධර්ම රත්නය සත්ත්වයනට පිහිට වන ආකාරය මෙසේ ය : ලෝකෝත්තර ධර්ම නවය අතුරෙන් සෝවාන් මාර්ගය, එය ලබා ගත් තැනැත්තා සතර අපායෙන් හා ජාති සතකින් මත්තෙහි ඔහුට ලැබෙන්නට තිබෙන සංසාර දුක්ඛයෙන් ද එතෙර කොට නිවනට පමුණුවයි. සෝවාන් මාර්ගයට පැමිණි ආර්ය ශ්‍රාවකයා හට එහි ආනුභාවයෙන් නැති වූ දුක්ඛස්කන්ධය මහ පොළොවේ පස් සමූහය මෙන් ද, ඔහුට ඉතිරි දුක්ඛය කෙනෙකු විසින් මහපොළොවෙන් නිය පිටට ගත් පස් ස්වල්පය මෙන් දත යුතුය. සකෘදාගාමී මාර්ගය එක් වරකින් මතු කාම ලෝකයේ ඉපිල ලබන්නට වන දුක්ඛ ස්කන්ධයෙන් ඒ මාර්ගය ලැබූ පුද්ගලයා එතෙර කොට නිවනට පමුණුවයි. අනාගාමී මාර්ගය, මතු කාමලෝකයේ ඉපිද ලැබිය හැකි දුක්ඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතෙර කොට නිවනට පමුණුවයි. අර්හත් මාර්ගය, මේ භවයෙන් මතු ඉපදීමෙන් ලැබිය හැකි දුක්ඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතෙර කොට නිවනට පමුණුවයි. නිර්වාණ ධර්මය වනාහි සකල සාංසාරිකාපායික දුක්ඛස්කන්ධය නිවීම් වශයෙන් ඒ ඒ මාර්ග ඵලයන්ට පැමිණියවුන්ට පිහිට වේ. දුක් නැති කර ගැනීමට ඇත්තා වූ උසස් ම පිහිට ඒ නිවන ය. පර්යාප්ති සඞ්ඛ්‍යාත පිටකත්‍රය ධර්මය වනාහි සියලු දුක් නැති කර ගැනීමේ හා සියලු සම්පත් ලබා ගැනීමේ ද මාර්ගය දැක්වීම් වශයෙන් සත්ත්වයන්ට පිහිට වේ.

සංඝරත්නය වනාහි බුද්ධ රත්නය මෙන් ම ලෝකයාට ධර්මානුශාසනය කිරීමෙන් හා දානාදි පුණ්‍ය කර්මයන් කර ගැනීමට ස්ථානයක් වීමෙන් ද සත්ත්වයන්ට පිහිට වේ.

සරණ ගමනය

බුද්ධාදි රත්නත්‍රය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත්‍රය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති. මිත්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙන රත්නත්‍රය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙන් නැත්තා වූ ද දෙවියන්ගේ පිහිට සොයති. රත්නත්‍රය හැඳින ගත්තෝ ම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගනෙ සේවනය කරති. යමෙක් බුද්ධාදි රත්නත්‍රය උතුම් පිහිටක් වශයෙන් පිළිගනී නම් ඒ පිළිගැනීම සරණ ගමන යයි කියනු ලැබේ. බුද්ධාදි රත්නත්‍රය උතුම් පිහිට තුනක් සේ පිළිගැනීමෙන් ඒ තැනැත්තා තිසරණයෙහි පිහිටියේ යයි ද කියනු ලැබේ. තිසරණයෙහි පිහිටීමෙන් හෙවත් බුද්දාදි රත්නත්‍රය තමාට ඇති සියල්ලට ම උතුම් පිහිට තුන යයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යන නාමය හිමි වේ. බෞද්ධයා යනු ද ඔහුට නමෙකි.

සරණ ගමනයේ ප්‍රභේද

සරණ ගමනය වනාහි ලෝකෝත්තර සරණ ගමනය. ලෞකික සරණගමනය යයි දෙවැදෑරුම් වේ. බුද්ධාදි රත්නත්‍රය උතුම් පිහිට වශයෙන් පිළිගැනීමට බාධක දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයෝ මතු කිසි කලෙක ඒ සන්තානයේ නූපදනා පරිද්දෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ දී එහි බලයෙන් ඒ පුද්ගලයාට ප්‍රහීණ වේ.

ඉන් පසු රත්නත්‍රය පිළිබඳ මඳ සැකයකුදු ඒ ආර්ය ශ්‍රාවකයාට ඇති නො වේ. ඒ පුද්ගලයාට විශේෂ සමාදානයක් නැති ව ම ඒ අවස්ථාවේ දී සරණ ගමනය සිද්ධ වේ. ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදු වන්නා වූ ඒ සරණ ගමනය ලෝකෝත්තර සරණ ගමනය ය. එහි බිඳීමක් හෝ කිලිටි වීමක් හෝ නැත. ලෝකෝත්තර සරණ ගමනයාගේ වශයෙන් සරණ ගිය ආර්යශ්‍රාවක තෙමේ මතු භවයක දී වුව ද අන්‍ය ශාස්තෘවරයෙකුගේ පිහිට නො සොයන්නේ ය. අන්‍ය ශාස්තෘවරයකු පිහිට සැටියට නො පිළිගන්නේ ය.

සද්ධර්ම ශ්‍රවණ සත්පුරුෂ සේවනාදියෙන් රත්නත්‍රය හැඳින එහි සිත පහදවා ගෙන සරණ ගමනයට බාධක වූ දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයන් මැඬ එහි රත්නත්‍රය උතුම් පිහිට සේ සලකා ගන්නා වු පෘථග්ජනයාගේ ඒ සරණ ගමනය ලේකික සරණ ගමනය ය.

මෙසේ සිදු වන්නා වූ සරණ ගමනය ආත්මසන්නිර්යාතන සරණ ගමනය, තත්පරායණතා සරණ ගමනය, ශිෂ්‍යභාවෝපගමන සරණ ගමනය, ප්‍රණීපාත සරණ ගමනය යි සතර ආකාර වේ.

එහි ආත්මසන්නිය්‍යාතන සරණ ගමනය යනු සසර දුකින් මිදීම පිණිස හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිස ද, බුද්ධාදි රත්නත්‍රයට ආත්මය භාර කිරීම හෙවත් පරිත්‍යාග කිරීම ය.
තත්පරායණතා සරණ ගමනය යනු “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යනාදීන් භික්ෂු සාමණේරාදීන් අතුරෙන් යම් කිසිවකු ඉදිරියේ කීමෙන් හෝ තමා ම ඉටා ගැනීමෙන් හෝ රත්නත්‍රය උතුම් පිහිට තුන වශයෙන් පිළිගැනීමෙන් සිදුවන සරණ ගමනය ය.

ශිෂ්‍යභාවෝපගමන සරණ ගමනය යනු මම අද පටන් බුදුන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හෙවත් අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි. සංඝයාගේ අතවැසියෙක් වෙමි ය යි ආරෝචනය කිරීමෙන් හෝ සිතා ගැනීමෙන් හෝ සිදුවන සරණ ගමනය ය.

ප්‍රණීපාත සරණ ගමනය යනු තමා විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය කිරීම් වශයෙන් සිදුවන සරණ ගමනය ය. යමකු විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය පිරිනැමෙන්නේ ඒ තැනැත්තා විසින් අන් හැමට ම වඩා උසස් කොට සලකන තැනට ය. එ බැවින් ඒ ගෞරවය කිරීම සරණ ගමනය වේ. ප්‍රණිපාතය යනු වන්දනාදියට නමෙකි. මනුෂ්‍යයෝ නෑකම් සලකා මාපියාදීන්ට වඳිති. බිය නිසා රාජාදීන්ට වඳිති. උපකාර සලකා ගුරුන්ට වඳිති. පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුතු උතුමකු බව සලකා ද වඳිති. සතර ආකාරයකින් කරන ඒ වැදුම් අතුරෙන් පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුත්තකු බව සලකා කරන වන්දනාවෙන් ම සරණ ගමනය සිද්ධ වේ. අන් ආකාරයන්ගෙන් කරන වැඳීමෙන් සරණ ගමනය සිදු නො වේ. බුදුනට වුව ද මුන්වහන්සේ අපේ නෑ කෙනෙකැ යි වඳින්නා හට ද රාජාදීන් පවා වඳින මුන්වහන්සේට නො වැඳීමෙන් කරදර ඇති විය හැකි යැයි බියෙන් වඳින්නා හට ද, මුන්වහන්සේ අපගේ ගුරු කෙනෙකැ යි වඳින්නා හට ද සරණ ගමනය සිදු නො වේ.

සරණ ගමනයාගේ ඵල හා ආනිසංස

සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර ලෝකෝත්තර ඵලය, ලෝකෝත්තර සරණ ගමනයෙන් ලැබෙන ඵලය ය, සකල දුක්ඛයාගේ ක්ෂයය වූ නිර්වාණය එයින් ලැබෙන ආනිසංස ය. මනුෂ්‍යලෝක දිව්‍ය ලෝකයන්හි ලැබිය හැකි භවභෝග සම්පත්තීහු ලෞකික සරණ ගමනයාගේ ඵලයෝ ය. සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන ලෝකෝත්තර ධර්මයෝ එහි ආනිසංස වශයෙන් සැලකිය යුත්තාහු ය.

සරණ ගමනයාගේ කිලිටිවීම හා බිදීම

රත්නත්‍රය ගැන දැනීම මඳ වීමෙන් ද, රත්නත්‍රය කෙරෙහි සැක ඇති වීමෙන් ද, රත්නත්‍රය පිළිබඳ ව දුර්මත ඇති වීමෙන් ද ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුශලය ස්වල්ප ඵල ඇත්තේ ය. සුපරිසුද්ධ සරණාගමන කුශලය මහත්ඵල මහානිසංස වන්නේ ය. ලෝකෝත්තර සරණ ගමනයේ කිලිටි වීමක් නැත්තේ ය. ලේකික සරණ ගමනයාගේ භේද (බිඳීම) බුද්ධාගම ප්‍රතික්ෂේප කිරීමෙන් හා අන්‍යාගමක් පිළිගැනීමෙන් ද මරණයෙන් ද වේ. බුද්ධාගමය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ අන්‍යාගමක් පිළිගැනීමෙන් හෝ වන සරණ ගමන භේදය සාවද්‍යය ය. මරණයෙන් වන භේදය නිරවද්‍යය ය. ආර්යශ්‍රාවකයන් ඒ භවයේ දී තබා අන්‍ය භවයක දී වත් අන්‍යාගමක් නො පිළිගන්නා බැවින් ලෝකෝත්තර සරණගමනයාගේ භේදයක් නැත්තේ ය.

දෙවියන්ගේ පිහිට සෙවීම

බොහෝ බෞද්ධයෝ විෂ්ණු, කතරගම ආදි දෙවිවරුන්ට ද වැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ පිහිට සොයති. එයින් ඒ බෞද්ධයන්ගේ සරණ ගමනය කිලිටි වේ ය යි ද, බිඳේ යයි ද ඇතැමුන් කියතත් එය එසේ ම ය යි නො පිළිගත හැකි ය. ස්වශක්තියෙන් සිදු කර ගත නො හෙන දෙයක් එය සිදු කිරීමට සමතකු ලවා කරවා ගැනීමේ දී ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට හා සිදු කරවා ගත යුතු කාරණයේ හැටියට ද ගරු බුහුමන් කරන්නට හා පුද පඬුරු ඔප්පු කරන්නට ද සිදුවේ. බොහෝ බෞද්ධයෝ ද දෙවියන්ගෙන් යමක් කරවා ගන්නට ලබා ගන්නට වුවමනා වූ විට එය කරවා ගැනීම සඳහා දෙවියන්ට වැඳුම් පිදුම් කරති. එය රාජාදීන්ට වැඳුම් පිදුම් කිරීම වැනි ක්‍රියාවෙකි. දෙවියන්ට එසේ කිරීමෙන් සරණගමනය කිලිටි වෙතොත් බිඳෙතොත් රජුන්ට ඇමතියන්ට වැඳීමෙන් හා පඬුරු ඔප්පු කිරීමෙන් ද සරණ ගමනය කිලිටි විය යුතු ය. නො බිඳෙන නො කිලිටි වන ලෝකෝත්තර සරණ ගමනය ඇත්තා වූ ආර්යශ්‍රාවකයන් ද රජුන්ට වැඳීම, පුද පඬුරු දීම කරන බැවින් එයින් සරණ ගමනයට හානියක් නො විය හැකි ය. යම් කිසිවක් ඉටු කර ගැනීම පිණිස රාජාදීන්ට වැඳීමෙන් පුද පඬුරු දීමෙන් සරණගමනයට හානියක් නො වන කල්හි එබඳු ම කරුණකට දෙවියන්ට වැඳීමෙන් පිදීමෙන් දෙවියන්ගේ පිහිට ලබා ගැනීමෙන් සරණ ගමනයට හානියක් නො විය හැකි ය. සරණ ගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන්, රත්නත්‍රයට වඩා දෙවියන් උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි.

(අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මාහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත කෘතියෙනි.)

Advertisements